දේශීය

පාස්කු ප්‍රහාරය විමර්ශන සම්බන්ධයෙන් නව වර්ධනයක් – සුරේෂ් සලේ අත්අඩංගුවට

ශ්‍රී ලංකාව කම්පා කළ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙ විමර්ශන සම්බන්ධයෙන් නැවතත් උණුසුම් වර්ධනයක් වාර්තා වෙයි. රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පාස්කු ප්‍රහාර සඳහා “ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම” යන චෝදනා මතය. ඒ බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) විසින් තහවුරු කර තිබෙනවා.

චැනල් 4 වාර්තාවෙන් මතු වූ චෝදනා

2023 සැප්තැම්බර් මාසයේදී Channel 4 විසින් ප්‍රකාශයට පත් කළ ආන්දෝලනාත්මක වාර්තාවක් තුළ, පාස්කු ප්‍රහාරය පිටුපස “දේශපාලන බලය සඳහා කුමන්ත්‍රණයක් තිබුණා ද?” යන ප්‍රශ්නය මතු කර තිබුණා.

එහි ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස හන්සීර් අසාද් මවුලානා නම් පුද්ගලයා ඉදිරිපත් වී, 2018 ජනවාරි මාසයේදී අන්තවාදී කණ්ඩායමක් සහ සුරේෂ් සලේ අතර හමුවක් සංවිධානය කළ බවට චෝදනා කර තිබුණා.

මෙම සිද්ධි සම්බන්ධයෙන් එවකට බන්ධනාගාරගතව සිටි සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ද සම්බන්ධ කරමින් චෝදනා ඉදිරිපත් වුණා.

පසුබිම

2019 අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැලකෙනවා. එම ප්‍රහාරයෙන් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුනා.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමත් සමඟ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නව අදියරකට පිවිසෙන බවට තොරතුරු ලැබී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරගෙන යනු ලබනවා

Shares: