උණුසුම් පුවත්

මැදපෙරදිග කලාපයේ සේවය කරන රට විරුවන් රැක ගන්න ගත හැකි උපරිම ක්‍රියාමාර්ගය වත්මන් රජය ගත යුතුයි — විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මේ වන විට අප රටේ වැඩිහිටි පරපුර, තරුණයන්, දරුවන් සහ කාන්තාවන් විවිධ පීඩන රැසකට මුහුණ දී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විදේශ ප්‍රේෂණය මගින් රටට දැවැන්ත ආධාරයක් සපයන ශ්‍රමිකයන් දශ ලක්ෂයක් පමණ මැදපෙරදිග කලාපයේ සේවය කරන අතර, එම කලාපයේ ආරම්භ වූ යුද්ධය හේතුවෙන් ඔවුන්ගේ ජීවිත සහ රැකියා දැඩි අනතුරකට ලක්ව ඇති බවද ඔහු සඳහන් කළේය.
එම රට විරුවන්ගේ ආරක්ෂාව සඳහා රජය වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවද ඔහු අවධාරණය කළේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔත්තප්පුව රංකෙතගම ප්‍රදේශයේ පාසල් ළමුන් 850 දෙනෙකුට පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

පාසල් දූදරුවන්ට නිල ඇදුම් සහ දිවා ආහාර වැඩසටහන් ආරම්භ කළේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බවත්, අද එම පහසුකම් කප්පාදු වී ඇති බවත් ඔහු පැවසීය. රටේ අනාගතය භාරගන්නා දරුවන් සඳහා නිසි අධ්‍යාපනය, දහම් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා සමබර ආහාර අවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.

වී ගොවියා අද අසරණ තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, වී කිලෝවට රු.150ක සහතික මිල ලබාදෙන බවට ලබාදුන් පොරොන්දු අද ඉටු නොවී ඇති බවත්, වත්මන් මිල ගොවියාගේ වියදමවත් ආවරණය නොකරන බවත් සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය ආයතන අනුව රටේ ජනතාවගෙන් තුනෙන් එකකට ආසන්න පිරිසක් දුප්පත්භාවයට පත්ව ඇති බවද, බලශක්ති ක්ෂේත්‍රයේ සහ නොරොච්චෝලේ බලාගාරයේ ගැටලු පිළිබඳවද ඔහු දැඩි විවේචන එල්ල කළේය.

එමෙන්ම ගෞරවනීය මහා සංඝරත්නයට අපහාස කිරීම හා අවලාද නගන ප්‍රකාශ පිළිබඳවද ඔහු සිය විරෝධය පළ කළේය.

Shares: