උණුසුම් පුවත්

අද වන විට රජයෙන් ඉටුවිය යුතු යුතුකම් කිසිවක් ජනතාවට ඉටු වෙන්නේ නැහැ — විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

▪️ අද වන විට රජයෙන් ඉටුවිය යුතු යුතුකම් කිසිවක් ජනතාවට ඉටු වෙන්නේ නැහැ

▪️ රාජ්‍ය බලය ඇති අය පවා මහා සංඝරත්නයට වනචාරීන් ලෙස ආමන්ත්‍රණය කරනවා

▪️ ගොවියාගේ වී මිල දී ගන්න හරිහමන් වැඩපිළිවෙළක් අද නැහැ

අද වන විට රටේ පන්සල් පද්ධතිය, පෞරාණික සිද්ධස්ථාන සහ ඉපැරණි සංස්කෘතිය කඩාවැටීමේ අවදානමකට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආගම ධර්මය සුරක්ෂා කරමින් සංස්කෘතිය රැකබලා ගැනීම සියලු දෙනාගේම වගකීමක් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුදුදහමට විශේෂ ස්ථානයක් ලබා දී ඇති බවත් ඔහු අවධාරණය කළේය.

බුදුදහම සුරක්ෂා කරන අතරම රටේ අනෙකුත් ආගම්, ජාතීන් සහ සංස්කෘතීන් ද ආරක්ෂා කිරීම රජයේ මෙන්ම පුරවැසියන්ගේ වගකීමක් බවද ඔහු සඳහන් කළේය.

අනුරාධපුර ශ්‍රී සුගත මහා විහාරයේ පැවති පෞරාණික සිද්ධස්ථාන පුනර්ජීව කවය වැඩසටහනට එක්වෙමින් අදහස් පළ කළ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, රාජ්‍යයෙන් ඉටුවිය යුතු වගකීම් ඉටු නොවීම හේතුවෙන් මෙවැනි පුනර්ජීව වැඩසටහන් බිහි වීමට සිදු වී ඇති බවයි.

මහා සංඝරත්නයට අපහාස කිරීම පිළිබඳ විවේචනය

රාජ්‍ය බලය භාවිතා කරන පිරිස් පවා සම්බුද්ධ ශාසනයේ මුරදේවතාවන් ලෙස සැලකෙන මහා සංඝරත්නයට අපහාස කරමින් “වනචාරීන්” ලෙස ආමන්ත්‍රණය කිරීම පිළිගත නොහැකි බව ඔහු පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දිවුරුම් දුන් පිරිස් විසින්ම එයට හා බුදුදහමට අපහාස කිරීම කණගාටුදායක බවද ඔහු ප්‍රකාශ කළේය.

වත්මන් රජය වී කිලෝවට රු.120ක් ලබා දෙන බව පොරොන්දු වුවද, වර්තමානයේ වී අලෙවි වන්නේ රු.60 – 80 අතර මිලකට බව ඔහු පෙන්වා දුන්නේය. රජය ගබඩා විවෘත කර ප්‍රායෝගික ලෙස වී මිලදී ගැනීම සිදු කළ යුතු බවත්, ලබා දුන් පොරොන්දු ඉටු නොවීමෙන් ගොවියා දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Shares: