ලෝක කලා ඉතිහාසයේ විශිෂ්ටතම බාරෝක් චිත්‍රශිල්පීන් අතරින් කෙනෙකු වන Michelangelo Merisi da Caravaggio විසින් සිත් ගත් මොන්සිනියර් මෆේඔ බාර්බෙරිනිගේ පෝට්‍රේට් චිත්‍රයක් ඉතාලි රාජ්‍යය විසින් යුරෝ මිලියන 30කට මිලදී ගෙන තිබෙනවා. මෙය ඉතාලිය විසින් කලා කෘතියක් සඳහා ගෙවා ඇති විශාලම මුදල් ප්‍රමාණයන් අතරින් එකක් ලෙස සැලකෙනවා.
ඉතාලියේ සංස්කෘතික අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙම චිත්‍රය “විශේෂ වැදගත්කමක් ඇති කලා කෘතියක්” බවත්, එය ප්‍රධාන කලා කෘති පෞද්ගලික එකතුකරුවන් වෙත පත් නොවී ජාතික උරුමයක් ලෙස රැක ගැනීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙලක කොටසක් බවත්ය.
මෙම චිත්‍රය මුලින් Florence හි පෞද්ගලික එකතුවක තබා තිබූ අතර, 2024 දී Rome නගරයේදී ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන ලදී. දැන් එය Palazzo Barberini හි ස්ථිර කලා එකතුවට එක්කර ඇති අතර, එහිදී කරාවාජියෝගේ අනෙකුත් කෘති සමඟ ප්‍රදර්ශනය කරනු ඇත.
සම්භවයෙන් 1598 වටා සිතුවම් කර ඇති මෙම කෘතියේ මොන්සිනියර් මෆේඔ බාර්බෙරිනි (පසුව Pope Urban VIII ලෙස පත් වූ පුද්ගලයා) දක්නට ලැබෙනවා. දෑතින් නියෝගයක් ලබාදෙන ආකාරයෙන් නිරූපිත මෙම චිත්‍රය, කරාවාජියෝගේ ආලෝක හා සෙවණැලි භාවිතයෙන් යුත් “Chiaroscuro” තාක්ෂණයේ විශිෂ්ට උදාහරණයක් ලෙස සැලකෙනවා.
ලෝකය පුරා කරාවාජියෝගේ කෘති සම්පූර්ණයෙන්ම 65ක් පමණ පමණක් ඉතිරිව ඇති අතර, ඒ අතරින් පෝට්‍රේට් වර්ගයේ චිත්‍ර තුනක් පමණක් ඇති බවද විද්වත් පර්යේෂකයින් සඳහන් කරනවා.
ඉතාලි රජය පවසන්නේ මෙවැනි කලා උරුමයන් රැකගෙන ශිල්පීන්, පර්යේෂකයින් සහ කලාවට කැමති ඕනම අයෙක් සඳහා සජීවීව අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව ලබාදීම තමන්ගේ ප්‍රධාන අරමුණ බවයි.











