අදාළ බලධාරීන්ගෙන් තම ඉල්ලීම්වලට ධනාත්මක ප්‍රතිචාර නොලැබීම හේතුවෙන්, ලංකා විදුලි බල මණ්ඩලය (ලංවිම) වෘත්තීය සමිති අද (26) දහවල් සිට සවස 6.00 දක්වා පැය හයක සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා
මෙම තීරණය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වෙත ලිපියක් මඟින් දැනුම් දී ඇති අතර, වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් අටකට මෙතෙක් කිසිදු විසඳුමක් නොලැබී ඇති බව එම ලිපියේ සඳහන් වනවා.
පෙබරවාරි 10 දා මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක් එකඟතාවයකින් තොරව අවසන් වූ අතර, පෙබරවාරි 16 දා ලංවිම සභාපතිවරයා සමඟ පැවති වෙනම සාකච්ඡාවක් ද ප්‍රතිඵලයකින් තොරව අවසන් වූ බව වෘත්තීය සමිති පවසා තිබුණා.
“සාධාරණ හා යුක්ති සහගත ඉල්ලීම්වලට විසඳුම් ලබාදීම ප්‍රමාද වීම හේතුවෙන් ක්‍රියාමාර්ගයකට යාම හැර වෙනත් විකල්පයක් නොමැත” යැයි වෘත්තීය සමිති අවධාරණය කර සිටිනවා.
වැඩ වර්ජනයෙන් පැන නගින කිසිදු අහිතකර ප්‍රතිවිපාකයකට සේවකයින් හෝ වෘත්තීය සමිති වගකිව යුතු නොවන බවත්, එහි සම්පූර්ණ වගකීම විෂය භාර අමාත්‍යවරයා හා රජය භාරගත යුතු බවත් ඔවුන් තවදුරටත් සඳහන් කර තිබෙනවා










