ජාතික විදුලිබල නිෂ්පාදනය සඳහා වැදගත් ජල මූලාශ්‍රයක් වන කාසල්රී ජලාශයේ හි ප්‍රධාන දූපතේ ඊයේ (අප්‍රේල් 4) පස්වරුවේ හදිසි ගින්නක් ඇති වී ඇති බව වාර්තා වනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ, මෙම ගින්න ජලාශය අසල පිහිටි රක්ෂිත භූමියට ආසන්නයෙන්, කිසියම් පිරිසක් විසින් හිතාමතාම ඇති කළ ගින්නක් විය හැකි බවයි.
ජලාශයේ ජල මට්ටම සැලකිය යුතු ලෙස පහළ බැස ඇති බැවින්, එහි දූපතට පහසුවෙන් ප්‍රවේශ විය හැකි වීමත් සමඟ, බාහිර පුද්ගලයින්ට එම ප්‍රදේශයට ඇතුළු වීම පහසු වී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.
මෙම දූපත, විශේෂයෙන්ම ජල පරිසරයට ආවේණික පක්ෂීන් විශාල සංඛ්‍යාවක් කූඩු කරන වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන අතර, ගින්න පැතිර යාමත් සමඟ එම පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුවිය හැකි බවට පරිසරවේදීන් අනතුරු අඟවයි.
කෙසේ වෙතත්, මේ වන විටත් ගින්න පාලනය කිරීම සඳහා කිසිදු සෘජු ක්‍රියාමාර්ගයක් ගත් බවට වාර්තා වී නොමැති අතර, එය තවදුරටත් පැතිර යාමේ අවදානමක් පවතින බවද සඳහන් වනවා.











