ගෙවුණු මාර්තු මස මැද භාගයේදී ඩොනල් ට්‍රම්ප් විසින් “කියුබාව කිසියම් ආකාරයකින් අත්පත් කර ගැනීමට හැකිවිය හැක” යනුවෙන් කළ ප්‍රකාශයක් ලෝක දේශපාලන වේදිකාව තුළ දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙනවා. එම ප්‍රකාශය සමඟම කියුබාව සහ ඇමරිකාව අතර පවතින ආන්දෝලනාත්මක තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
ආර්ථික පීඩනය සහ බලශක්ති අර්බුදය
2026 මුල් භාගයේදී නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසුව, වෙනසිවුලාව මගින් ලබාදෙන ඉන්ධන සැපයුම් කපා හැරීමත් සමඟ කියුබාව දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටිනවා. මාස තුනකට ඉන්ධන හිඟය පැවතීම හේතුවෙන් විදුලි බල සැපයුම බිඳ වැටී, ජන ජීවිතය ද අසීරු තත්ත්වයකට පත්ව තිබෙනවා.
විදුලිබල හා ජීවන අර්බුදය
දිගු කාලයක් පුරා පවත්නා නඩත්තු දුර්වලතා හේතුවෙන් කියුබාවේ විදුලිබල පද්ධතිය ද බිඳ වැටී ඇති අතර, නිතර විදුලි කප්පාදු ජනතාවට දැඩි අපහසුතාවයක් ගෙන දී තිබෙනවා.
Miguel Díaz-Canel විසින් ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ප්‍රකාශ කළද, අභ්‍යන්තර සහ බාහිර ගැටළු හමුවේ තත්ත්වය තවදුරටත් සංකීර්ණ වෙමින් පවතින බවයි සදහන් වන්නේ. එමෙන්ම Marco Rubio වැනි නායකයින් කියුබාවේ පාලන වෙනසක් පිළිබඳව දිගුකාලීනව අවධානය යොමු කර ඇති බව ද සඳහන් ව තිබෙනවා.
චීනය සහ රුසියාව වැනි රටවල් මැදිහත්වීමක් සිදු කරන්නේ ද යන්න පිළිබඳව කතාබහක් පැවතියද, එය ඉතා අඩු හැකියාවක් සහිත බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
1960 දශකයේ ෆිදෙල් කැස්ත්‍රෝ ගේ සමාජවාදී විප්ලවයෙන් පසු සිට කියුබාව ඇමෙරිකානු සම්බාධක යටතේ පවතින අතර, පසුගිය දශකවල බැරැක් ඔබාමා හා ජෝ බයිඩන් යන නායකයන්ගේ කාලවලදී සම්බන්ධතා කිහිප වතාවක් ලිහිල් වුවද, නැවතත් දැඩි කර තිබෙනවා.
කියුබා ජනතාවට ආර්ථික වෙනසක් අවශ්‍ය වුවද, බාහිර මැදිහත්වීමක් නොමැතිව තමන්ගේ ගැටලු විසඳා ගැනීමට කැමැත්තක් ඇති බව පෙනෙන්නට තිබෙන බවයි සදහන් වන්නේ. එහෙත් වර්තමාන තත්ත්වය අනුව, කියුබාව “කඩා වැටීමට ආසන්න” තත්ත්වයකට පැමිණ තිබේද යන්න පිළිබඳව ලෝක අවධානය යොමු වී තිබෙනවා.











