විදෙස්

ඇමරිකාව රඳවාගත් ඉරාන නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකු නිදහස් කරයි

මැදපෙරදිග කලාපයේ උණුසුම් වී ඇති දේශපාලනික අර්බුද මධ්‍යයේ, ඇමරිකාව විසින් රඳවාගෙන සිටි ඉරාන ධජය සහිත Touska බහාලුම් නෞකාවේ සිටි ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු නිදහස් කර නැවත ඉරානය වෙත යවා ඇති බව අර්ධ නිල Tasnim News Agency බදාදා වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත්, තවත් ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනෙකු තවමත් Touska නෞකාවේ රඳවා සිටින අතර, ඔවුන් නිදහස් කර ගැනීම සඳහා ඉරාන බලධාරීන් අඛණ්ඩව රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් සිදු කරමින් සිටින බව සඳහන් වනවා.

United States Central Command (CENTCOM) අනුව, අප්‍රේල් 20 වන දින ඕමාන ප්‍රදේශයේදී මෙම නෞකාව නාවික හමුදා විසින් අල්ලා ගෙන තිබුණේ අවහිර කිරීමේ උපදෙස්වලට අනුකූල නොවූ බවට චෝදනා කරමිනුයි.

පෙබරවාරි 28 සිට ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ කලාපයේ ආතතිය දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ටෙහෙරානය විසින් ගල්ෆ් කලාපයේ ඇමරිකානු සහචර රටවල් ඉලක්ක කර ගනිමින් ප්‍රතිචාර දැක්වූ අතර, ලෝකයේ වැදගත්ම නාවික වෙළඳ මාර්ගවලින් එකක් වන හෝමූස් සමුද්‍ර සන්ධියද වසා දැමීමට පියවර ගෙන තිබුණා.

පාකිස්ථානය මැදිහත්වීමෙන් අප්‍රේල් 8 වන දින සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද, ඉස්ලාමාබාද්හි පැවති සාකච්ඡාවලින් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් පසුව සඳහන් කළේ, පාකිස්ථානයේ ඉල්ලීමකට අනුව සටන් විරාමය දීර්ඝ කළ බවත්, ටෙහෙරානයෙන් යෝජනාවක් අපේක්ෂා කරන බවත්ය.

හෝමූස් සමුද්‍ර සන්ධිය වටා දැඩි ආරක්ෂාව

අප්‍රේල් 13 සිට ඇමරිකාව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඉරාන සමුද්‍ර ගමනාගමනය ඉලක්ක කර ගනිමින් නාවික අවහිරයක් පනවා ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානයද ජල මාර්ගයේ යාත්‍රා ගමනාගමනය සීමා කර තිබුණා.

මේ වනවිට ලෝක වෙළඳාම, තෙල් සැපයුම සහ ජාත්‍යන්තර ආරක්ෂාව කෙරෙහි මෙම අර්බුදය දැඩි බලපෑමක් ඇති කරමින් පවතින බව විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

 

Shares: