තෙදින නිල රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (03) ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල උත්සවය අද (04) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
මෙම නිල උත්සවයෙන් අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීමට ද නියමිත බව වාර්තා වනවා.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් ලෙස සැලකෙනවා.
එමෙන්ම, දෙරට අතර ආර්ථික, සංචාරක, වෙළඳ සහ කලාපීය සහයෝගීතා ක්ෂේත්රයන් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, අනාගත සහයෝගීතාව පුළුල් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් ද අත්සන් කිරීමට අපේක්ෂා කෙරේනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම සංචාරය දෙරට අතර රාජ්‍ය සබඳතා නව මට්ටමකට ගෙන යාමට වැදගත් අවස්ථාවක් වන බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට පැමිණි මොහොමඩ් මුයිසු මහතා 2026 මැයි 06 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත අතර, 2023 දී බලයට පත්වීමෙන් පසු ඔහු ශ්‍රී ලංකාවට කරන පළමු නිල සංචාරය මෙය ලෙස සැලකෙනවා.
මේ අතර, මෙම රාජ්‍ය සංචාරය හේතුවෙන් මැයි 06 දක්වා කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය ජනතාවට දැනුම් දී තිබෙනවා.










