දේශීය

දෙනියායේ පාසල් 4ක් තාවකාලිකව වසා දැමේ

පාසල් සිසුන් අතර උණ රෝගයක් සීඝ්‍රයෙන් පැතිර යාමෙන් සෞඛ්‍ය අංශ සීරුවෙන්

දෙනියාය ප්‍රදේශයේ පාසල් සිසුන් අතර උණ රෝගය වේගයෙන් පැතිර යාමත් සමඟ සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන් හදිසි පියවර රැසක් ගෙන තිබෙනවා.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සුමිත් මානතුංග මහතා ප්‍රකාශ කළේ, තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂ කණ්ඩායමක් දෙනියාය ප්‍රදේශයට පැමිණීමට නියමිත බවයි.

පාසල් 4ක් වසා දැමේ

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව, දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිශ්ශංක හෙට්ටිගොඩ මහතා විසින් ඊයේ (07) සහ අද (08) දින සඳහා දෙනියාය කලාපයේ පාසල් හතරක් තාවකාලිකව වසා දැමීමට නියෝග කර තිබෙනවා.

වසා දැමූ පාසල් වන්නේ,

දෙනියාය මධ්‍ය විද්‍යාලය
දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය
දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය
පල්ලේගම සිද්ධාර්ථ විද්‍යාලය

මෙම තීරණය ගෙන ඇත්තේ සිසුන් සහ ගුරුවරුන් අතර උණ රෝග ලක්ෂණ සහිත රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් බව බලධාරීන් සඳහන් කර තිබෙනවා.

“වසංගත තත්ත්වයක් නොවේ” – සෞඛ්‍ය අංශ

කෙසේ වෙතත්, මේ වනවිට තත්ත්වය වසංගත මට්ටමකට ළඟා වී නොමැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබෙනවා.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් සහ නිරීක්ෂණ ක්‍රියාමාර්ග මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇති බවයි.

පාසල් යළි විවෘත කිරීම ගැන තීරණය සෞඛ්‍ය උපදෙස් මත

මේ අතර, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් N.K.R. පතිරණ මහතා සඳහන් කළේ, පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ගන්නා ඕනෑම තීරණයක් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත පමණක් සිදුකරන බවයි.

දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ, දරුවන්ට උණ, කැස්ස, උගුරේ වේදනාව හෝ ශරීර අපහසුතා වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගෙන පාසල් වෙත යැවීමෙන් වළකින ලෙසයි.

Shares: