කාළගුණය

ඉදිරි පැය 48 ගැන විශේෂ අවධානයෙන් සිටින්න – දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වෙයි

ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින පහළ මට්ටමේ වායුගෝලීය කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 48 තුළ අඩු පීඩන ප්‍රදේශයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබෙනවා.

ඊයේ (10) උදෑසන නිකුත් කළ නවතම කාලගුණ වාර්තාව අනුව, මේ හේතුවෙන් දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද තවදුරටත් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, අහස බොහෝවිට වළාකුළු සහිතව පවතිනු ඇත.

විශේෂයෙන්ම,

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ, උතුරු යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇති වීමේ අවදානමක් ද පවතින බැවින්, ජනතාවගෙන් අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

ඔබට වැදගත් ආරක්ෂිත උපදෙස් කිහිපයක්, අකුණු පවතින අවස්ථාවල විවෘත ස්ථානවල රැඳී නොසිටින්න, ගස් යට සහ විදුලි කණු අසල රැඳීමෙන් වළකින්න, ගංවතුර අවදානම් ප්‍රදේශ පිළිබඳ අවධානයෙන් සිටින්න, අවශ්‍ය නොවන ගමන් සීමා කරන්න, කාලගුණ නිවේදන නිරන්තරයෙන් අනුගමනය කරන්න

ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක විය හැකි බැවින්, ඔබෙත් ඔබගේ පවුලේත් ආරක්ෂාව පිළිබඳ වගකීම ඉතා වැදගත්.

Shares: