උණුසුම් පුවත්දේශීය

ඒකාබද්ධ බස් කාලසටහනට එරෙහිව වෘත්තීය සමිති විරෝධතාවයක

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරුණු ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ දුරගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාලසටහන් සැලසුමට විරෝධය පළ කරමින් වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.

රජය විසින් ගෙන ඇති මෙම තීරණයට එරෙහිවයි ඊයේ (25) කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට දී එම විරෝධතාවය පැවැත්වුණේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියේ ප්‍රධාන ලේකම් බන්දුල රත්නායක මහතා ද සඳහන් කළේ ඊට විරෝධය පල කරන බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්රථ අංගනයේ සිට එම ඒකාබද්ධ ගමන්වාර ආරම්භ කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව නිවේදනය කළා.

ඒ අනුව කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් රථ අංගනයේ සිට මෙම නව බස් කාලසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති.

එහිදී කොළඹ – හලාවත, කොළඹ – පුත්තලම, කොළඹ – ආනමඩුව, කොළඹ – එළුවන්කුළම සහ කොළඹ – කල්පිටිය, මීගමුව – කල්පිටිය, කොළඹ – මන්නාරම, කොළඹ – තලෙයිමන්නාරම, කොළඹ – කුලියාපිටිය, කොළඹ – නිකවැරටිය සහ කොළඹ – කුලියාපිටිය යන ගමන් මාර්ගවල මෙම ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක වනු ඇති. එමෙන්ම කොළඹ – අනුරාධපුර, කොළඹ – වව්නියාව, කොළඹ – කිලිනොච්චිය, කොළඹ – යාපනය, කොළඹ – කන්කසන්තුරේ, කොළඹ – කරෙයිනගර් සහ කොළඹ – තුන්නුක්කායි, යන ගමන් මාර්ගවල ද මෙය ක්‍රියාත්මක කෙරෙනවා.

Shares: