දේශීය

“ඉසුරු ගෙනෙන යලක්” හෙට සිට ඇරඹේ – ගොවීන්ට නව කෘෂිකාර්මික මඟපෙන්වීම්

ඉන්ධන, පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම්වල ඉහළ යන පිරිවැයට මුහුණ දීමට ගොවීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් හෙට (14) සිට ආරම්භ කිරීමට නියමිත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

“ඉසුරු ගෙනෙන යලක්” ජාතික කෘෂිකාර්මික වැඩසටහන යටතේ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, එය මෙවර යල කන්නය ඉලක්ක කර ගනිමින් සංවිධානය කර තිබෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුහුණු හා ව්‍යාපෘති අධ්‍යක්ෂ සිසිර කුමාර මහතා සඳහන් කළේ, මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙහිදී පස පරීක්ෂණ මත පදනම් වූ පොහොර යෙදවීම, රසායනික පොහොර භාවිතය අවම කිරීම, අඩු යෙදවුම් මට්ටම් යටතේ වැඩි අස්වැන්නක් ලබා ගැනීම සහ ශ්‍රම පිරිවැය අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණ භාවිතය පිළිබඳව ගොවීන්ට ප්‍රායෝගික මාර්ගෝපදේශ ලබාදීමට නියමිතයි.

එමෙන්ම කව්පි, මුං ඇට, මිරිස් සහ ලූනු වැනි භෝග වගාව ප්‍රවර්ධනය කරමින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ආනයන මත ඇති යැපීම අවම කිරීමද මෙම වැඩසටහනේ අරමුණක් බවද සඳහන් වනවා.

වර්තමාන ආර්ථික අභියෝග මධ්‍යයේ ගොවීන්ට වඩාත් ඵලදායී හා වියදම් අඩු කෘෂිකර්ම ක්‍රම හඳුන්වාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ ලෙස සැලකෙනවා.

Shares: