දේශීය

ස්වාභාවික ආපදාවකදී ජීවිතයක් බේරාගන්න ඔබ දැනගත යුතුම ප්‍රථමාධාර

ශ්‍රී ලංකාවේ ගංවතුර, නායයාම්, සුළි කුණාටු සහ අධික වැසි හේතුවෙන් සෑම වසරකම වටිනා ජීවිත රැසක් අහිමි වෙනවා. ඇතැම් අවස්ථාවලදී, නිසි ප්‍රථමාධාර දැනුමක් තිබුණා නම් එම ජීවිත බේරා ගැනීමට හැකියාව තිබූ බව ද විශේෂඥයින් පෙන්වා දෙනවා.

විශේෂයෙන් “දිට්වා” සුළි කුණාටුවෙන් පසු ඇති වූ ව්‍යසන තත්ත්වයත් සමඟ, ස්වාභාවික ආපදාවකදී මූලික ප්‍රථමාධාර පිළිබඳ දැනුම සමාජයට කොතරම් වැදගත්ද යන්න අවධානයට ලක්ව තිබුණා.

ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂණ සංගමයේ ප්‍රධාන ලේකම් පී.කේ. එදිරිසිංහ සඳහන් කරන්නේ, “පළවෙනිම දේ තමයි තමන් බේරෙන එක” යන්නයි.

පළමුව ඔබේ ආරක්ෂාව තහවුරු කරන්න

ආපදාවකදී තවත් කෙනෙකු බේරා ගැනීමට පෙර, ඔබ ආරක්ෂිතද යන්න තහවුරු කර ගැනීම අත්‍යවශ්‍යයි.

❝ තමන් ආරක්ෂා වෙන්නේ නැතුව තව කෙනෙක් බේරගන්න යන්න එපා. එතකොට තව ජීවිතයක් අවදානමට යනවා. ❞

ස්වාභාවික විපත් අතරතුර තවත් පුද්ගලයෙකු බේරා ගැනීමේ හැකියාව ඉතා සීමිත බැවින්, පෙර සැලසුම් සහ ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීම ජීවිත රැක ගැනීමට ප්‍රධාන සාධකයක් වනවා.

ආපදාවට ලක්වූ පුද්ගලයෙකුට දිය යුතු මූලික ප්‍රථමාධාර

1. අනතුරුදායක ස්ථානයෙන් ඉවත් කරන්න

පළමුව රෝගියා ආරක්ෂිත ස්ථානයකට රැගෙන යා යුතුය.
විදුලි කම්බි, ජල ප්‍රවාහ, මඩ හෝ කඩා වැටෙන ගොඩනැගිලි වැනි අවදානම් තවදුරටත් පවතින්නේද යන්න සොයා බලන්න.

2. රෝගියා “පැත්තට හරවා” තබන්න

ගංවතුර හෝ ජල අනතුරකින් බේරාගත් පුද්ගලයෙකු මූණ උඩට තබාගෙන රෝහලට ගෙන යාම අතිශය භයානක විය හැකිය.

හේතුව:

* වමනය
* මඩ
* සෙම
* ජලය

පෙනහලු තුළට යාමේ අවදානමක් පවතින බැවිනි.

ඒ නිසා රෝගියා “පැත්තට හරවා” තැබීම වඩාත් ආරක්ෂිතයි.

3. හුස්ම ගැනීම පරීක්ෂා කරන්න

රෝගියා හුස්ම ගන්නවාදැයි පරීක්ෂා කරන්න.

* පපුව ඉහළට පහළට යනවාද?
* නාසයෙන් හෝ මුඛයෙන් වාතය පිටවෙනවාද?

යන්තමින් හෝ හුස්ම ගැනීමක් තිබේ නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන්න.

CPR හෙවත් පපු තෙරපුම් ලබාදීම

රෝගියා හුස්ම නොගන්නේ නම් CPR ආරම්භ කළ යුතුය.

CPR කරන ආකාරය

විනාඩියකට තෙරපුම් වාර 100 – 120 අතර ලබාදිය යුතුය.

වැඩිහිටියෙකුට,

* අත් දෙක භාවිත කරන්න
* පපුව අඟල් 1.5 – 2ක් පමණ යටට යන ලෙස තෙරපන්න

කුඩා දරුවෙකුට,

* එක් අතක් භාවිත කළ හැක

ළදරුවෙකුට,

* ඇඟිලි දෙකකින් පපු තෙරපුම් ලබාදිය යුතුය

සෑම අවස්ථාවකදීම පපුවේ උසෙන් තුනෙන් එකක් පමණ යටට බසින ලෙස තෙරපීම වැදගත්.

කෘත්‍රිම ස්වසනය දිය යුත්තේ කෙසේද?

රෝගියාගේ මුඛය හෝ නාසය තුළ මඩ, සෙම හෝ වෙනත් ද්‍රව්‍ය සිරවී තිබේදැයි පළමුව පරීක්ෂා කරන්න.

පියවර

රෝගියාගේ හිස පිටිපස්සට ටිකක් හරවන්න
නිකට උස්සන්න
ස්වසන මාර්ගය විවෘත කරන්න
මුඛයට හෝ නාසයට කෘත්‍රිම හුස්ම ලබාදෙන්න

සාමාන්‍ය CPR රටාව

* හුස්ම වාර 2ක්
* පපු තෙරපුම් 30ක්

මෙය රෝහලට යන තෙක් හෝ රෝගියා ප්‍රතිචාර දක්වන තෙක් කරගෙන යා හැකිය.

මුඛයේ සිරවී ඇති දේ ඉවත් කරන්නේ කෙසේද?

රෝගියා පැත්තට හරවා,

මුඛය විවෘත කර බලන්න
පේන ද්‍රව්‍ය පමණක් ඉවත් කරන්න
ඇඟිල්ල සම්පූර්ණයෙන් මුඛය තුළට දමන්න එපා

මඩ හෝ සෙම ගැඹුරට සිරවී ඇත්නම්, අත්හදා බැලීම් කිරීම භයානක විය හැකියි.

එවැනි අවස්ථාවල:
CPR පමණක් කරමින් ඉක්මනින් රෝහලකට රැගෙන යාම වඩාත් සුදුසුය.

ගංවතුරකදී ජීවිත ආරක්ෂක කබායක් නැත්නම්?

ජීවිත ආරක්ෂක කබායක් නොමැති අවස්ථාවක සරල දේවල් භාවිතයෙන් ජීවිතයක් බේරාගත හැකි බව ඔබ දන්නවාද.

භාවිත කළ හැකි දේවල්,

* ප්ලාස්ටික් මෙගා බෝතල් 3ක්
* රිජිෆෝම් කැබලි
* පරණ ෂර්ට් හෝ බ්ලවුස්

මෙගා බෝතල් 3ක් පපුව වටා බැඳගැනීමෙන්,
ශරීරය පාවෙයි
හිස ජලයෙන් ඉහළ තබාගත හැක
ගිලීමේ අවදානම අඩුවේ

නොකළ යුතු දේවල්

තමන්ගේ ආරක්ෂාව නොසලකා ජලයට බසින්න එපා
හුස්ම නොගන්නා රෝගියෙකු අතහැර දමන්න එපා
මූණ උඩට තබාගෙන රෝගියා ප්‍රවාහනය කරන්න එපා
නොදන්නා ක්‍රම අත්හදා බලන්න එපා

ජීවිතයක් බේරාගන්න දැනුමක් තිබීම ප්‍රමාණවත්

ස්වාභාවික ආපදාවකදී සෑම තත්පරයක්ම වටිනාකමක්.
නිසි ප්‍රථමාධාර දැනුමක් තිබීමෙන් ඔබට, ඔබේ ජීවිතය පවුලේ අයගේ ජීවිත තවත් අයෙකුගේ ජීවිතය

බේරා ගැනීමට හැකියාව ලැබෙනවා.

ජීවිතයක් බේරාගැනීම සෑම කෙනෙකුටම කළ හැකි මනුෂ්‍යත්වයේ උතුම්ම කාර්යයක්.

අනිවාර්යයෙන්ම ශෙයා කරන්න!
ඔබේ share එක තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරාගන්න හේතුවක් වෙන්න පුළුවන්.

Shares: