හොංකොංහි පැවති 2026 ආසියානු සංස්කෘතික මහජන සුභසාධන සංසදය අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ආසියාවේ අනාගත සංවර්ධනය ගැන වැදගත් පණිවිඩයක් ලබා දුන්නා.
ඔහු පෙන්වා දුන්නේ ආසියාව ගෝලීය ආර්ථිකයේ නව බලවේගය බවට පත්වෙමින් තිබුණත්, සංවර්ධනයේ සැබෑ අගය තීරණය වන්නේ සාරධර්ම, සංස්කෘතිය සහ මනුෂ්‍යත්වය රැකගෙන ඉදිරියට යාමෙන් බවයි.
ශ්‍රී ලංකාවේ “වැවයි – දාගැබයි – ගමයි – පන්සලයි” යන පෞරාණික සංකල්පය උපුටා දක්වමින්, තිරසාර සංවර්ධනය අපගේ ශිෂ්ටාචාරයේම කොටසක් බව ඔහු එහිදී අවධාරණය කර තිබුණා.
එමෙන්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ වරාය, මහාමාර්ග සහ නව නගර ඉදිකළද, ග්‍රාමීය ජනතාව හා සමාජ සුභසාධනය අමතක නොකළ බවද සඳහන් කර තිබුණා.
කෘතිම බුද්ධිය, ඩිජිටල් සෞඛ්‍ය සේවා, පුනර්ජනනීය බලශක්තිය වැනි නව තාක්ෂණයන් මනුෂ්‍ය සුභසාධනය වෙනුවෙන් භාවිතා කළ යුතු බවත්, සදාචාරයෙන් තොර තාක්ෂණය සමාජ බෙදීම් ඇති කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
“සෑම වනාන්තරයක්ම යටිතල පහසුකම් බවට පත් නොවිය යුතුය… සෑම පූජනීය ස්ථානයක්ම පහසුව වෙනුවෙන් වෙනස් නොකළ යුතුය” යනුවෙන් පවසමින්, සංවර්ධනය සහ පාරිසරික ආරක්ෂාව අතර සමබරතාවය රැකගැනීමේ වැදගත්කමද ඔහු අවධාරණය කර තිබෙනවා.
“ආසියාවට ආර්ථික නායකත්වයට වඩා සදාචාරාත්මක හා සංස්කෘතික නායකත්වයක් ලබා දිය හැක” යි අවසාන වශයෙන් ඔහුගේ පණිවිඩය තබා තිබෙනවා.











