දේශීය

අලුත් ව්‍යවස්ථාවක් හැදීමට පරණ ආණ්ඩුවල කමිටු නිර්දේශත් ගනී

අලුත් ව්‍යවස්ථාවක් හැදීමට පරණ ආණ්ඩුවල කමිටු නිර්දේශත් ගනී

ජාතික ජන බලවේග රජය යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීම සඳහා පෙර පැවති රජයන් විවිධ කමිටු ඔස්සේ ලබා දී ඇති නිර්දේශ ද සලකා බලමින් සිටින බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කළේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සඳහා වූ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා ය.

විශේෂයෙන් ම “ජන සම්මතවාදී ව්‍යවස්ථාවක්” ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය විය යුතු බව, වර්තමාන රජයේ ඒකායන අරමුණ බව ද ඇය කීවාය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සඳහා වන ක්‍රියාදාමයේදී ජාතික වශයෙන් ප්‍රමුඛතාව ලබා දී ඇති බවත් ඒ සඳහා වන මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, දැනට සිදු කරමින් පවතින අණපනත් සංශෝධන ද මෙම ක්‍රියාදාමයේ කොටසක් බවත් ඇය කීවාය.

තවද, මීට පෙර පැවති රජයන් විසින් විටින් විට විවිධ කමිටු පත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දී ඇති අතර ඒවා ද සැලකිල්ලට ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමට නව රජය බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළාය.

රටක මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නිරන්තරයෙන් සංශෝධනය විය යුතු ලේඛනයක් නොවන බැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ගැඹුරු අධ්‍යයනයකින් පසුව විශේෂඥ මත විමසුමක් සහිතව සිදු කිරීම නව රජයේ අරමුණ බවද ඇය පෙන්වා දුන්නා ය.

වත්මන් රජය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ ක්‍රියාදාමයේදී සියලු පාර්ශ්වවලට සවන් දෙමින් සියලුදෙනාගේම මතවලට ගරු කරමින් කටයුතු කරන බවද ඇය පැවසුවා ය.

එහිදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන පිළිබඳව ‘සමාජ කතිකාවක්’ පැවැතිය යුතු බවත් විශේෂඥ මත විමසමින් සමාජ සංවාදයකට විවෘත විය යුතු බවත් ඇය සඳහන් කළාය. එවැනි පසුබිමක් තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරන එමෙන් ම, නියෝජනය නොකරන සියලු දේශපාලන පක්ෂවලට, සියලු පුරවැසි කණ්ඩායම්වලට ද සවන් දීමක් සිදු කරන බව ඇය කීවාය.

ඒ අනුව, වර්තමාන රජය විසින් ඉදිරියේදී කෙටුම්පත් කිරීමට අපේක්ෂිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සමාජයේ සියලු පාර්ශ්වයන්ගේ මතවලට ගරු කරමින්, ඒවාට සවන් දෙමින්, කෙටුම්පත් කෙරෙන බවත් එය මෙතෙක් මෙරට බිහි නොවූ ආකාරයේ ජන සම්මතවාදී ව්‍යවස්ථාවක් වනු ඇති බවත් ඇය සඳහන් කළා ය.

Shares: