උණුසුම් පුවත්දේශීය

හිටපු මන්ත්‍රීන් 500කට ‘පෙන්ෂන්’ අහිමි වෙයි!

හිටපු මන්ත්‍රීන් 500කට ‘පෙන්ෂන්’ අහිමි වෙයි!

ආණ්ඩුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළහොත් මන්ත්‍රිවරුන් 500 දෙනෙකුගේ විශ්‍රාම වැටුප අහිමි වන බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රි එකමුතුව පවසයි.

මේ දක්වා විශ්‍රාම වැටුපෙන් ජීවත්වූ සියලු ම මන්ත්‍රිවරුන් මෙම ගැටලුවට මුහුණ දෙන බවත්, හිටපු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු හැර අති බහුතරය බෙහෙත් හේත් ලබාගැනීම ඇතුළු එදිනෙදා වියදම් දරා ගැනීමට නොහැකිව අසරණව සිටින බවත් එහි ලේකම් ජ.වි.පෙ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පේමසිරි මානගේ ‘ඉරිදා මව්බිම’ට කීය.

ඇතැම් මන්ත්‍රිවරුන් වියපත් වී අසනීපව එක්තැන්ව සිටින බවත්, ඇතැම් මන්ත්‍රිවරුන්ගේ වැන්දඹු බිරින්දෑවරුන් රැකවරණයක් නොමැතිව දුෂ්කරතාවලින් පෙළෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමෙන් පාර්ලිමේන්තුව අවභාවිතාවට ලක්වන බව පැවැසූ හිටපු පාර්ලිමේන්තු පේමසිරි මානගේ මින් ඉදිරියට වියතුන් පාර්ලිමේන්තුවට නොයනු ඇති බවත්, පාර්ලිමේන්තුව මුදල් ඇති පන්තියට හා වංචනිකයන්ට පමණක් සීමා වන බවත් කීවේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්වන බවත් මේ පිළිබදව ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් මගින් කරුණු ඉදිරිපත් කළ බවත් ලේකම්වරයා පැවසීය.

කෙසේ වුවද, මේ පිළිබඳව පසුගිය දා අදහස් දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, විශාම වැටුප් අහෝසි කිරීමේ පනත ක්‍රියාත්මක වන තැන සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වන බව ය.

එමෙන් ම, එය ක්‍රියාත්මක කිරිමේදී ක්‍රමානුකූලව නීති සකස් කරමින් යන බවත් මේ දිනවල රාජ්‍ය නිලධාරීන් රටේ ජීවත් වීමට අපහසු අය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් සොයා බැලීමක් සිදුකරන බවත් මන්ත්‍රීවරුන්ටද ජීවත් වීමට අසීරු නම් ඒ සදහා ඉල්ලුම් කළ හැකි බව ය.

එලෙස සාමාන්‍ය පුරවැසියන් ලෙස ඉල්ලුම් කළ පසු රජයට ඒ පිළිබඳව සලකා බැලිය බවත් මෙතෙක් එවැනි ඉල්ලීම් ලැබී නැති බවත් හෙතෙම සඳහන් කළේ ය.

Shares: