දේශීය

බම්බලපිටිය පොලිසියේ දෙදෙනෙක් අල්ලස් දැලේ

සිංගප්පූරු ජාතිකයකු සතුව තිබූ විද්‍යුත් දුම්වැටි දෙකකට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට යැයි පවසා රුපියල් 40,000/= ක ඉල්ලා ඉන් රුපියල් 30,000/= ක මුදලක් ලබාගත් පොලිස් නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බම්බලපිටිය පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙක්.

පොලිසිය පැවසුවේ පැමිණිලිකාර සිංගප්පූරු ජාතිකයා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිට ඇති අතර පොලිස් නිලධාරින් ත්‍රිරෝද රථය නවතා සිංගප්ගපුරු ජාතිකයාගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී දුම්වැටි දෙක හමුවී තිබූ බවයි.

එම දුම්වැටි අධිකරණයට ඉදිරිපත් කළහොත් රුපියල් 50,000/= ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බවයි එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඔහුට පවසා ඇත්තේ.

ඒ අනුව රුපියල් 40,000/= ක් ඉල්ලා එයින් රුපියල් 30,000/= ක මුදලක් ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

බම්බලපිටිය පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

Shares: