බණ්ඩාරගම පොලිස් වසමේ බොල්ගොඩ පාලම අසලදී වෙඩිතබා ඝාතනය කෙරුණු පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මෙලෙස ඝාතනය කර ඇත්තේ හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වන ලලිත් කුමාර කෝදාගොඩ නමැති පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
බණ්ඩාරගම පොලිස් වසමේ බොල්ගොඩ පාලම අසලදී ඔහු කාර් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (21) සවස් කාලයේදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.
වෙඩිවැදීමෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර ඔහුගේ වයස අවුරුදු 57ක්.
වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට සැක කරන අතර පොලිසිය පැවසුවේ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
වෙඩි ප්‍රහාර 20කට අධික සංඛ්‍යාවක් ඔහු ඉලක්ක කර තබා ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි ප්‍රහාරයෙන් මියගිය එම බන්ධනාගාර නිලධාරියා පාතාල කල්ලි නායකයකු බව කියන සමයං ඝාතන සිද්ධියේ ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින අයෙකු වෙයි.
එම සිදුවීමට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.










