උණුසුම් පුවත්දේශීය

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට මේ මස වැටුප නෑ – තැපැල්පති

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසනවා.

මාසික වැටුප අවශ්‍යනම් වහාම සේවයට වාර්තා කරන ලෙසයි ලිපියක් යොමුකරමින් වර්ජනයේ නිරත සේවකයින්ට ඔහු දන්වා ඇත්තේ.

වර්ජනයේ නිරත වෘත්තීය සමිති ද ලිඛිතව මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

තැපැල්පතිවරයා කියා සිටියේ වර්ජනය හේතුවෙන් රුපියල් මිලියන 140ක පමණ පාඩුවක් මේ වනවිට සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී තිබූ තැපැල් මලු බෙදාහෑරීමේ කටයුතු සිදුකරන බව ඔහු පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක් වූ තැපැල්පති රුවන් සත්කුමාර මහතා,

“වැටුප් ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් අපට මුදල් ලැබෙන්න ඕන. මට දැනුම්දී තිබෙනවා වර්ජනය කරන අතර තුර වැටුප් ගෙවීම සඳහා මුදල් නිකුත්කිරීමක් සිදුවෙන්නේ නැතිවෙයි කියලා.

ඒ නිසා සේවයට වාර්තා කළ අයට විතරක් මුදල් ලැබෙන්න ඉඩ තියෙනවා. වර්ජනය කරන අයටත් දැනුම්දුන්නා අද සේවයට වාර්තා කරන්න කියලා” යනුවෙනුයි ප්‍රකාශ කළේ.

Shares: