හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්රදේශයක දී STF නිලධාරීන් සමඟ සිදු වූ වෙඩි හුවමාරුවක දී සැකකරුවෙකු මියගොස් තිබෙනවා.
අදාළ සැකකරු වෙඩිවැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ STF නිලධාරියෙකු ද සූරියවැව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ අදාළ ස්ථානයේ සැකකරුවන් දෙදෙනෙකු රැඳීසිට ඇති බවත්, වෙඩි හුවමාරුව අතරතුර එක් සැකකරුවෙකු පලාගොස් ඇති බවයි.
වෙඩි හුවමාරුව අතරතුර සැකකරුවන් විසින් අත්බෝම්බයක් ද නිලධාරීන් දෙසට එල්ලකර තිබෙනවා.
වෙඩිවැදීමෙන් මියගිය සැකකරු පසුගියදා කොස්ගොඩදී සිදුකළ වෙඩිතැබීමේ සැකකරුවෙකු බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්රියාත්මකයි.










