උණුසුම් පුවත්දේශීය

අධිකරණය ආසන්නයේ උණුසුම් තත්ත්වයක්

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ඒ විපක්ෂයේ පක්ෂ සාමාජිකයින් විසින් “මර්දනයට එරෙහිව” නමින් ආරම්භ කර ඇති විරෝධතාවය හේතුවෙන්.

අධිකරණ භූමිය දෙසට කිව් මාර්ගය මේ වනවිට ආරක්ෂ අංශ විසින් වසා දමා ඇති අතර, සීමිත පිරිසකට පමණක් ඉන් ඇතුළු වීමට අවසර හිමිව තිබෙනවා.

කෙසේවෙතත් මේ වනවිට අධිකරණ භූමියට ඇතුළු වන බැරැක්ක මාවත දෙසට විපක්ෂයේ විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක බිඳ දමා ඇතුළු වීමට උත්සාහ කරන බවටයි වාර්තා වන්නේ.

මේ අතර, පොලිස් ජල ප්‍රහාරක රථ, කැරලි මර්දන ඒකකයේ භට පිරිස්, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සීරුවෙන් තබා ඇති අයුරුද දක්නට ලැබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව මේ වන විට කො‍ළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නීති කෘත්‍ය තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගිය 22 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

Shares: