විදෙස්

ඉරාන තානාපතිවරයාට ඕස්ට්‍රේලියාවෙන් පිටවන්නැයි දැනුම්දීමක්

ඕස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව ලෙස ඕස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබෙනවා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිඩ්නි සහ මෙල්බර්න්හි කැෆේ සහ සිනගෝගවලට එල්ල වූ යුදෙව් විරෝධී ප්‍රහාර සඳහා ඉරානය සම්බන්ධ බවට ඕස්ට්‍රේලියානු බුද්ධි අංශ විසින් තහවුරු කරගෙන ඇති නිසා මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ හේතුවෙන් දින 7ක් තුළ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව යන ලෙස ඕස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසා ඇත්තේ, මෙම සිදුවීම් දෙක සමාජ සහජීවනය අඩපණ කිරීමට සහ ප්‍රජාව තුළ අසමගිය වැපිරීමට ගත් උත්සාහයක් බවයි.

ඉරාන තානාපති අහමඩ් සඩේගි සහ තවත් නිලධාරීන් තිදෙනෙකුට ඕස්ට්‍රේලියාවෙන් පිටව යන මෙලෙස නියෝග කර ඇති අතර ටෙහෙරානයෙන් ද තම රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවත් කර ගැනීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම චෝදනා ඉරානය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ තම නියෝජිතයා නෙරපා හැරීමේ තීරණය “ඕස්ට්‍රේලියාවේ දේශීය ප්‍රතිපත්ති මගින් මෙහෙයවන ලද්දක්” බවයි.

මාස ගණනක් පුරා පැවති විමර්ශනයකින් පසුව, චෝදනා එල්ල වූ අපරාධ සහ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණ දෙන නිලධාරීන් අතර සම්බන්ධතා තම කණ්ඩායම් විසින් අනාවරණය කරගෙන ඇති බවයි ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ (Asio) ප්‍රධානී මයික් බර්ගස් පැවසුවේ.

Shares: