දේශීය

යෝජනා සහ අදහස් විමසමින් පූර්ව අයවැය සාකච්ඡාවක්

අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් විමසීම සඳහා වැවිලි ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේදී පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

සැලකිය යුතු ප්‍රමාණයකින් රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමටත්, ආර්ථිකයෙහි යම් ස්ථාවරත්වයක් ඇති කිරීමටත් ශ්‍රී ලංකා රජය මේ වන විට සමත් වී ඇති නමුත් රටේ ආර්ථිකය ස්ථාවර වීම සඳහා ඉතා වැදගත් වන ඩොලර් සංචිත ශක්තිමත් කර ගැනීමේ අභියෝගය ජය ගැනිම සඳහා ව්‍යාපාරිකයන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණයි.

එහිදී ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීම බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රජය, ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට ලබා දෙන පහසුකම්වලට සරිලන සාධාරණ බදු ගෙවීමක් සිදුකළ යුතු බවයි පෙන්වා දුන්නේ.

ආර්ථිකයට තිරිංග යොදා සීමා කළ නොහැකි බව කියා සිටි ජනාධිපතිවරයා අවධාරණය කළේ හැකිළී තිබුණු ආර්ථිකය ප්‍රසාරණය කරමින් ඉදිරියට ගෙන යාමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවයි.

ආනයන සීමා ලිහිල් කිරීම මඟින් රජය සතු ඩොලර් සංචිතයට සිදුවන බලපෑම වළක්වා ගනිමින් ඩොලර් සංචිත ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අපනයන ආදායම් වැඩි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා නිශ්චිත වැඩසටහනක් රජය සතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ.

මෙහිදී තේ, පොල් සහ රබර් යන වගා ආශ්‍රිත අපනයන සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ අතර, එහිදී එම ක්ෂේත්‍ර තුළ වර්තමානයේ මතු වී ඇති අභියෝග සහ ගැටලු මෙන්ම, ඒවාට සාර්ථකව මුහුණදීම සඳහා වන යෝජනාද මෙම සාකච්ඡාවට එක් වූ නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරුද, තේ, රබර්, පොල් වගා ආශ්‍රිත කර්මාන්තයන්ට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ සහ අපනයන ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Shares: