විදෙස්

වොෂින්ටනයේ මිනීමැරුම් සඳහා මරණ දඬුවම නියම කරන්න ට්‍රම්ප්ගේ සැලැස්මක්

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට අගනුවර වන වොෂින්ටන්හි සිදුවන මිනීමැරුම් සඳහා මරණ දඬුවම ලබා දීමට සැලසුම් කරන බව පවසා තිබෙනවා.

ඒ, එහි සිදුවන අපරාධ මැඩපැවැත්වීමේ අරමුණිනි.

අමෙරිකාවේ කම්කරු දින තේමාව යටතේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමක් අතරතුර අදහස් දක්වමිනුයි ඔහු සිය තීරණය එලෙස ඉදිරිපත් කර තිබුණේ.

අමෙරිකානුවන් ඊට සූදානම්දැයි තමා නොදන්නා නමුත් සිය රජයට වෙනත් විකල්පයක් නොමැති බව ඔහු අවධාරණය කර තිබුණි.

මිනීමැරුම් නඩු සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බවට ට්‍රම්ප් දෙවන වර ඇමරිකාවේ ජනාධිපති බවට පත්වීමෙන් අනතුරුව ප්‍රතිඥා දී තිබුණු අතර ජනවාරි මාසයේ ඔහුගේ පරිපාලනයේ පළමු දිනයේදීම විධායක නියෝගයක් හරහා ෆෙඩරල් මරණ දඬුවම නැවත ස්ථාපිත කරනු ලැබුවා.

වොෂින්ටන් ඩීසී හි බොහෝ මිනීමැරුම් සඳහා නඩු පවරනු ලබන්නේ දේශීය නීතිය යටතේ වුවද, නඩු පවරන්නන්ට – න්‍යායාත්මකව – ෆෙඩරල් නීති යටතේ වැටෙන අපරාධ සඳහා මරණ දඬුවම ඉල්ලා සිටිය හැකියි.

කෙසේ වෙතත්, ඇමෙරිකාවේ මරණ දඬුවම භාවිතා කළ හැක්කේ ජූරි සභාව එකඟ වුවහොත් පමණක් වන අතර “ඇමරිකානු පුරවැසියන්ට එරෙහිව වඩාත්ම දරුණු අපරාධ සහ මාරාන්තික ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අය වැළැක්වීම සහ දඬුවම් කිරීම සඳහා අත්‍යවශ්‍ය මෙවලමක්” ලෙසයි ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද විධායක නියෝගයේ මරණ දඬුවම විස්තර කරන්නේ.

Shares: