පිතිකරණයට විශේෂ දක්ෂතා දක්වන ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කර ජයග්‍රහණ රැසක් අත්කර දුන් මයිකල් ක්ලාක් සමේ පිළිකාවකට ගොදුරු වී සිටින බව සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සඳහන් කර තිබෙනවා.
ඔහු මේ වන විට ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
ඔහු සඳහන් කර ඇත්තේ නිරන්තරයෙන් තමන් ගැන අවධානයෙන් සිටින නිසා ඔහුට මේ පිළිකා අවදානම ගැන කලින්ම දැනුවත් වීමට හැකියාව ලැබුණු බවයි.
ගෝලීය වශයෙන් පවතින අහිතකර UV කිරණ හේතුවෙන් මේ තත්ත්වයට තමන් මුහුණ දී ඇති බවත්, මේ වන විට එවැනි රෝග පිළිබඳ නිරන්තරයෙන් වාර්තා වන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
කෙසේ වෙතත් මෙවැනි තත්ත්ව පිළිබඳ අතිශය අවධානයෙන් පසුවීම වැදගත් බවත්,නිතිපතා සෞඛ්‍ය පරීක්ෂණ සිදු කරන ලෙස හා ඒ පිළිබඳව සමාජයේ අන්යන් දැනුවත් කිරීම වැදගත් වන බවත් මේ සුපිරි ක්‍රීඩකයා ප්‍රකාශ කර තිබෙනවා.
සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබමින් ක්ලාක් පවසා තිබුණේ “සමේ පිළිකාව සැබෑවක් ! විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ. අද මගේ නාසයෙන් තවත් එකක් කපා ඇත. ඔබේ සම පරීක්ෂා කර ගැනීමට මිත්‍රශීලී මතක් කිරීමක්. සුව කිරීමට වඩා වැළැක්වීම හොඳයි , නිරන්තරයෙන් තමන් ගැන අවධානයෙන් සිටින නිසා මට මේ පිළිකා අවදානම ගැන කලින්ම දැනුවත් වීමට හැකියාව ලැබුණා” යනුවෙන්.
කෙසේ නමුත් සමේ පිළිකාවක් ඇති බව හඳුනා ගැනීමෙන් පසු ක්ලාක් හයවන සැත්කමකට ද භාජනය කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
අලංකාර පිතිකරණ හැකියාව සහ උපායශීලී දක්ෂතාවය සඳහා ප්‍රසිද්ධ ක්ලාක්, 2004 සහ 2015 අතර කාලය තුළ ටෙස්ට් තරග 115ක්, එක්දින තරග 245ක් සහ විස්සයි20 තරග 34ක් ක්‍රීඩා කර ඇති අතර, ටෙස්ට් සහ එක්දින තරග දෙකෙහිම ඕස්ට්‍රේලියාවට නායකත්වය දෙනු ලැබුවා.
එමෙන්ම ඔහු ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරග 74කදී (ජයග්‍රහණ 47ක්, පරාජයන් 16ක්) සහ එක්දින තරග 139කදී සිය කණ්ඩායම මෙහෙයවනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන්.
ඔහුගේ නායකත්වය යටතේ, ඕස්ට්‍රේලියාව 2013-14 (5-0) අළු බඳුන ශූරතාවය නැවත දිනා ගත් අතර 2015 ලෝක කුසලානය දිනා ගනු ලැබුවා.
ආක්‍රමණශීලී උපක්‍රම සඳහා ප්‍රසිද්ධ ක්ලාක්, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ හොඳම පිතිකරුවෙකු ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.













