දේශීය

නබිතුමන් පෙන්වූ මඟ අනුව යමින් අප සියලු දෙනාම රට වෙනුවෙන් එකාවන්ව පෙළ ගැසිය යුතුයි – විපක්ෂ නායක

මුහම්මද් නබිතුමන් පෙන්වූ මඟ ද අනුව යමින් මේ අසීරු අවස්ථාවේ අප සියලු දෙනාම රට වෙනුවෙන් එකාවන්ව පෙළ ගැසිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජාතිය, ආගම, කුලය හෝ තත්ත්වය නොසලකා එකිනෙකාට ගෞරවය, කරුණාව සහ සේවය මත ගොඩනැගුණු විට පමණක් සමාජයක් සමෘද්ධිමත් විය හැකි බව නබිතුමා පෙන්වා දුන් බවයි.

විපක්ෂ නායකවරයාගේ සුබපැතුම් නිවේදනය පහතින්,

”ප්‍රඥාවත්, දයාවත්, යුක්තිය සාධාරණත්වයත් ලොවට කියා දුන් මානුෂීය හැඟීමත් මානව ප්‍රේමයත් ලෝකවාසී සත්ත්වයා වෙනුවෙන් බෙදා දුන් ලොව පුරා වාසය කරන ඉස්ලාමීය බැතිමතුන්ගේ ආගමික ශාස්තෘවරයා වශයෙන් හැඳින්වෙන මුහම්මද් නබි නායකතුමාගේ උපන් දිනය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් සමස්ත ලෝකවාසී මෙන්ම ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් සහෝදරත්වය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් යොමු කිරීමට ලැබීම සතුටට කරුණකි.

ජාතිය, ආගම, කුලය හෝ තත්ත්වය නොසලකා එකිනෙකාට ගෞරවය, කරුණාව සහ සේවය මත ගොඩනැගුණු විට පමණක් සමාජයක් සමෘද්ධිමත් විය හැකි බව නබිතුමා අපට පෙන්වා දුන්හ. එතුමන්ගේ දර්ශනය එක්සත්කම, නිහතමානීකම සහ දයාව පිළිබිඹු කරන අතර එය අදටත් අපගේ මාවත ආලෝකවත් කරන බව මාගේ විශ්වාසයයි.

රටක් ලෙස අප මේ වන විට බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් සිටියි. ඉදිරියේ දී තවත් අභියෝග පැමිණිය හැකිය. නමුත් එක් ජනතාවක්, එක් පවුලක් සහ එක් රටක් ලෙස එකට එක් වීමෙන් මේ ගැටලු වලට විසඳුම් සෙවිය හැකිය. ජාති ආගම් කුලමල භේද නොසලකා එකිනෙකා වෙනුවෙන් කැප වූ සමාජයක් ගොඩනැගීමට එතුමා විසින් අනුගමනය කළ දර්ශනය අනුගමනය කිරිමට අපට ද හැකියාව පවතී. එතුමා පෙන්වූ මඟ ද අනුව යමින් මේ අසීරු අවස්ථාවේ අප සියලු දෙනාම රට වෙනුවෙන් එකාවන්ව පෙළ ගැසිය යුතු ය.”

Shares: