නේපාලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර තිබෙන බව වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා.
නේපාලයේ කත්මන්ඩු නුවර සහ අනෙකුත් ප්‍රදේශවල ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් එරට පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය පිළිබඳව පුද්ගලිකව විමසීමටයි අමාත්‍යවරයා කටයුතු කර ඇත්තේ.
මේ අනුව, නේපාලයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට මේ දක්වා හානි වාර්තා වී නොමැති අතර ශ්‍රී ලාංකික සිසුන් 22 දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 99 දෙනෙකු (තානාපති කාර්ය මණ්ඩලය සහ පදිංචිකරුවන් ඇතුළු) එරටේ සිටින බව තහවුරු කර ගෙන තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සියලු පුරවැසියන් සමග අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සඳහා හදිසි දුරකථන අංක සකසා දී ඇති අතර, අවශ්‍ය සහය ලබාදීමේ කටයුතු සම්පූර්ණයෙන් සිදු කරනු ලබයි.
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට නිවෙස් තුළ රැඳී සිටීමට, විරෝධතා හා උද්ඝෝෂණා කලාපවලට නොයෑමට සහ නිකුත් කරන ලද ඇදිරි නීතිය දැඩිව පිළිපැදීමටයි අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.
තවද අවශ්‍ය තත්ත්වයන් හමුවේ අදාළ ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම් බව ද අවධාරණය කර තිබෙනවා.
මෙම ගැටලුකාරී තත්ත්වය හමුවේ නේපාලයේ ශ්‍රී ලාංකා තානාපති කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ස්තූතිය පළ කරමින් සඳහන් කළේ ඔවුන්ගේ කැපවීම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශාල දායකත්වයක් සැපයූ බවයි.
එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය නේපාලයේ තත්ත්වය නිරතුරුවම නිරීක්ෂණය කරමින්, සියලු ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි අරුන් හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් පවසා සිටියේ.











