ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ සිය තීරණය අද (10) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී ඔහු කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභාංග යෝජනාව නොගැළපෙන බැවින් සහ එය නිසි පිළිවෙලකට නොමැති වීම හේතුවෙන් තමාට එය පිළිගත නොහැකි බවයි.
අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණය ඉදිරිපත් කිරීමට කථානායකවරයා වෙත ලබාදී ඇති නීතිපතිවරයාගේ සහ ලේකම් මණ්ඩලයේ වාර්තාව සභාගත කරන ලෙසයි මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ස්ථාවර නියෝග යටතේ පවසා සිටියේ.
විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා ද කථානායකවරයාගේ තීරණයට අදාළව අදහසක් ප්‍රකාශ කිරීමට අවස්ථාව ඉල්ලා සිටි නමුත් එහිදී කථානායකවරයා පවසා සිටියේ, මෙය විවාදයක් නොවන බවත් ඒ සඳහා අවස්ථාව නොමැති බවයි.
එහිදී පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර අදාළ දැනුම්දීම හොඳින් කියවා බලන ලෙස කථානායකවරයා විපක්ෂ නායකවරයාට කියා සිටියා.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට පසුගිය අගෝස්තු මස 12 වන දිනයි භාර දී තිබුණේ.











