දේශීය

පුරා වස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පිරිසක් අත්අඩංගුවට

දිවයිනේ ස්ථාන දෙකකදී පුරා වස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු සිදුකළ පුද්ගලයින් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල සහ බණ්ඩාරදූව යන ප්‍රදේශවල කැණීම් කටයුතු සිදු කළ පුද්ගලයින් පිරිසක්.

ඊයේ (14) සවස් කාලයේදී ගලේවෙල පොලිස් වසමේ මාදිපොල ප්‍රදේශයේ දී ගලේවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දීයි පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි සැකකරුවන් 07ක් ගලේවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ සමගම ඔවුන් විසින් කැණීම් කටයුතු සඳහා යොදා ගන්නා ලද උපකරණ සහ පූජා භාණ්ඩ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28-58ත් අතර වයස්වල පසුවන මාදිලිපොල, වැලිකන්ද, මිල්ලවාන, දම්මින්න හා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

මේ අතර ඊයේ සවස් කාලයේදී බණ්ඩාරදූව පොලිස් වසමේ නවගිරියාව ප්‍රදේශයේදී බණ්ඩාරදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී පුරා වස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවෙකු කැණීම් උපකරණ හා පූජා භාණ්ඩද සමගින් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

සැකකරු අවුරුදු 63ක් වූ නවගිරියාව, ගොනාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Shares: