දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද (15) සිට 17 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට නියමිත වනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය මඟින් විභාගය සඳහා අවශ්‍ය කරන අයදුම්පත් ලබාගැනීම සඳහා ලියාපදිංචිය ලබාගත හැකියි.
මේ සඳහා අවුරුදු 18-39ත් අතර පුද්ගලයින්ට (1985.09.15 සිට 2007.09.14 උපන් අයට) අයදුම් කළ හැකි අතර, වර්ණ අන්ධතාවය නොමැති, නඩු නිමිත්තක වරදකරුවෙකු වී දඩ මුදල් ගෙවීමක්, සිරගතවීමක් හෝ බරපතල වැරදිවලට වැරදිකරුවෙකු වී නොමැති, වර්ණ අන්ධතාවය, කොඳු ඇට පෙලේ ආබාධ සහිත, ඇඟිලි අඩු හෝ ඉවත් කර නොමැති පුද්ගලයින් හා දකුණු කොරියාව මඟින් පිටුවහල් කළ බවට පෙර වාර්තා නොමැති හා E-9 සහ E-10 වීසා කාණ්ඩ යටතේ වූ සේවා කාලයද ඇතුළුව වසර 5ට අධික කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති පුද්ගලයින් විය යුතු වනවා.
විභාග ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සදහා අයදුම්පත්‍රය, ඉදිරියට අවම මාස 3ක කාලයක් සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ස්කෑන් ඡායාරූපයක්, මාස 3ක් ඇතුළත ලබාගත් 3.5 cm × 4.5 cm ප්‍රමාණයේ සුදු පැහැති පසුබිම සහිත ඡායාරූපයක ස්කෑන් කළ පිටපතක් අවශ්‍ය බව සඳහන්.
විභාග ගාස්තුව රු.8,428.40 ක් වන අතර, ලංකා බැංකුව, මහජන බැංකුව හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට මුදල් ගෙවු රිසිට්පත අවශ්‍ය වනවා. (මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් අංක www.slbfe.lk හි සඳහන් වේ.)
මෙම විභාගය හා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය හරහා ලබාගත හැකියි.











