දේශීය

පන්දාහේ ව්‍යාජ නෝට්ටු එක්ක 04ක් අත්අඩංගුවට

රුපියල් පන්දාහේ ව්‍යාජ මුදල් නෝට්ටු කොළ එකසිය හතලිස් පහක් සහ ඒවා මුද්‍රණය කිරීමට භාවිතා කරන ලද ලැප්ටොප්, පරිගණක සහ තවත් උපකරණ කිහිපයක් සමග සැකකරුවන් සිව්දෙනක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඒ අද (18) අලුයම අනුරාධපුරය මැදවච්චිය ප්‍රදේශයේදී කළ වැටලීමකදීයි.

ප්‍රධාන සැකකරු මගින් හබරණ ප්‍රදේශයේ දී රුපියල් පන්දාහේ නෝට්ටුවක් සංසරණය වීම පිළිබඳ ලද තොරතුරක් අනුව මෙම සැකකරු හරහා අනෙකුත් මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බවයි ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන හබරණ පොලිසිය සඳහන් කළේ.

එම පොලිසිය පැවසුවේ මෙම සැකකරුවන් මැදවච්චිය ප්‍රදේශයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර, හබරණ ප්‍රදේශයට පැමිණ ඒවා මාරු කරගෙන ඇති බවටත්, මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට සිදුකරගෙන ගොස් ඇති බවට මූලික පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බවයි.

සැකකරුවන් අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

භාරයට ගත් ව්‍යාජ මුදල් නෝට්ටු, උපකරණ හා අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Shares: