මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් දේශපාලන සබඳතාවයන් ඇති බවත්, විශේෂයෙන් දකුණේ දේශපාලනඥයින් මෙයට සම්බන්ධ බවටත් මේ වනවිට යම් තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඔහු එම අදහස් පළ කළේ, ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ වන විට මෙරට අපරාධකරුවන් 15 දෙනෙක් පමණ විදෙස් රටවල බන්ධනාගාර ගතව සිටින බවත්, ඔවුන්ගේ නිති කටයුතු අවසන් වීමෙන් පසු ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සහ අනෙක් පාතාල අපරාධකරුවන්ගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතින බව ද විජේපාල මහතා කියා සිටියා.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එම අපරාධකරුවන්ගෙන් ලද තොරතුරු අනුව ඉදිරියේදීත් වැටලීම් සිදුකරන බවත්, මේ සඳහා යම් යම් නිලධාරින් මෙන්ම දේශපාලඥයින් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී ඇති බවයි.
එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙසේ ද පැවසුවා.
” විශේෂයෙන් වෙනකොට රටේ බරපතල ප්‍රශ්නයක් ගැන රජය අවධානයක් යොමු කරලා තියෙනවා. එක කාරණයක් සංවිධානාත්මක අපරාධ. අනිත් කාරණය තමයි මත්ද්‍රව්‍ය ඡාවාරම. මේ දෙක එකිනෙකට සම්බන්ධ බවට ඔබ කවුරුත් දන්නවා. ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වූ වහාම මේ පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටු දැකීම සඳහාත් එය මර්ධනය කිරීම සඳහාත් ක්‍රියාමාර්ග රාශියක් අරන් තිබෙනවා. මේ වෙනකොට එහි සාර්ථක ප්‍රතිඵල ලබාගනිමින් තිබෙනවා. මේ පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ඡාවාරම අතර සෘජු සම්බන්ධතාවක් තිබෙනවා. ඒ වගේම මීට දේශපාලන ආශිර්වාද මෙන්ම දේශපාලන සබඳතා පවතින බවට කවුරුත් දන්නා කාරණයක්. නමුත් අපි බලයට පත්වුණාට පස්සේ මේ දේශපාලන සංස්කෘතිය අවසන් කරලා තියෙනවා. ඒ ගත්ත ක්‍රියා මාර්ග නිසා අද දිනත් වැටලීම් සිදුකළා තංගල්ල ප්‍රදේශයේ. අපි මේ රටේ ජනතාවට විශේෂයෙන් කාරණයක් කියන්න අවශ්‍යයි. විශේෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් දේශපාලන සබඳතාවයන් තිබෙන බවට මේ වනවිට යම් යම් තොරතුරු අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන් දකුණේ දේශපාලනඥයින් මෙයට සම්බන්ධ බවට. විශේෂයෙන් මහජනතාව මේ වනවිට තොරතුරු ලබාදෙමින් තිබෙනවා. පොලීසිය සක්‍රීයව තම රාජකාරිය ඉටුකරමින් ඉන්නවා. බුද්ධි අංශ තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබෙමින් තිබෙනවා. ඒ නිසා මහජනතාවට අයාචනා කරනවා ඔබ දන්නා තොරතුරු මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙතත්, ශ්‍රී ලංකා පොලීසිය වෙතත් ලබාදෙන්න හැකියාව තියෙනවා. ඒ තොරතුරු සහ පුද්ගලයාගේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා. මහජනයා හැටියට ඔබගේ වගකීම ඔබ මේ වෙලාවේ ඉෂ්ට කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. පොලිසියත් බුද්ධි අංශයත් යම් ප්‍රමාණයක පරිහානියට ලක් වෙලා තිබුණා. අපි බලයට පත්වු වහාම අපිට ඕන වුණේ පොලිසිය දේශපාලනයෙන් නිදහස් කරලා ඔවුන්ට නිදහසේ වැඩ කරන්න සැලැස්වීමයි. එහි ප්‍රතිඵල තමයි පොලිසිය මේ මේවිදිහට සක්‍රීය වෙන්න හේතුව. ඒ වගේම මහජනයා දැන් සූදානම් මෙවැනි තොරතුරු අපට ලබා දෙන්න.”











