ක්‍රීඩා

ICCය USA ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාව යටතේ ICC සාමාජිකයෙකු ලෙස USA ක්‍රිකට් ආයතනය විසින් එහි බැඳීම් නැවත නැවතත් මෙන්ම අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙමෙ තීරණය ගෙන ඇත්තේ ඊයේ (23) පැවැති රැස්වීමකින් පසුවයි.

කෙසේ නමුත් අමෙරිකා ක්‍රිකට් කණ්ඩායමට 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරගාවලි සඳහා සහභාගී වීම සඳහා හැකියාව පවතින බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ අනුව USACහි අත්හිටුවීම පෙබරවාරි මාසයේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරම්භ වන T20 ලෝක කුසලානයේ ජාතික කණ්ඩායමේ සහභාගීත්වයට බලපාන්නේ නැහැ.

ICC විසින් ලැයිස්තුගත කර ඇති ව්‍යවස්ථාමය උල්ලංඝනයන් අතර ක්‍රියාකාරී පාලන ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සහ එක්සත් ජනපද ඔලිම්පික් සහ පැරාලිම්පික් කමිටුව සමඟ ජාතික පාලක මණ්ඩලයේ (NGB) තත්ත්වය ලබා ගැනීම සඳහා ප්‍රගතියක් නොමැතිකම ඇතුළත්.

ජූලි මාසයේ පැවති ICC වාර්ෂික මහා සභා රැස්වීමේදී, USA ක්‍රිකට් ආයතනයට මේ පිළිබඳව මීට පෙර “දැනුම් දී” ඇති අතර ගැටළු නිරාකරණය කිරීමට මාස 12 ක කාලයක් ලබා දී තිබෙනවා.

ඉන් මාස දෙකකට පසුවයි මෙම අත්හිටුවීම සිදුකර ඇත්තේ.

Shares: