උණුසුම් පුවත්

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සහ කාර්යයන් වෙනස් කරයි

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවරගෙන තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ පසුගියදා සිදුවූ සංශෝධනයත් සමග මෙම විෂය පථයන් සංශෝධනය කර ඇති බව සඳහන්.

එම සංශෝධනවලට අනුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ පැවති පුනරුත්ථාපන කාර්යංශය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට පවරා තිබෙනවා.

එමනේම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සංස්ථාව, වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට ද, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවති සීමාසහිත සැලසිනේ මීඩියා සොලියුෂන්ස් පුද්ගලික ආයතනය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම පරිසර අමාත්‍යාංශය යටතේ පැවති භූ විද්‍යා, සමීක්ෂණ හා පතල් කාර්යංශය කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතටත්, කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පැවති කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතටත් පත්කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින ලංකා විදුලිබල සමාගම, සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම ලෙස සංශෝධනය කිරීමට කටයුතු කර ඇති අතර විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ හඳුන්වාදුන් නව ආයතන 4 ද මෙම නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.

පසුගියදා සිදුවූ කැබිනට් සංශෝධනයෙ දී හඳුන්වාදුන් අමාත්‍යාංශවල විෂය පථයන් ද මෙම නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කරයි ඇත්තේ.

Shares: