ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බස් රථවල ගමන් කරන මගීන්ට හෙට (01) දිනයේ සිට දඩයක් නියම කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.
එමෙන්ම ප්‍රවේශ පත්‍ර ලබානොදෙන කොන්දොස්තරවරුන්ට ද දඩයක් නියම කරන බවයි එහි ධාවන කළමනාකරු ජීවින්ද කීර්තිරත්න මහතා පෙන්වා දෙන්නේ.
මේ අතර බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා පැවසුවේ බස්නාහිර පළාතේ ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ සඳහා හෙට දිනයේ සිට මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීම අනිවාර්ය වන බවයි.
ඒ අනුව හෙට දිනයේ සිට මගියා විසින් ටිකට් පතක් ලබා ගැනීම සහ කොන්දොස්තරවරයා මගියාට ටිකට්පතක් ලබා දීමද අනිවාර්ය වන බවයි ඔහු සඳහන් කළේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණී ජාසිංහ මහතා ප්‍රකාශ කළේ,
“මගියෙක් ගොඩ වුණාම ඔහුට බස් රථයේ අංකය, ගමනාරම්භය, ගමන අවසානය, අනුක්‍රමික අංකය, ගමන් ගාස්තුව, ඇතුළත් ටිකට් පතක් ලබා දීම අනිවාර්ය කරලා තියෙනවා. ඒ වගේම මගියාගේ වගකීමක් තියෙනවා තමන්ගේ පළමු කඩඉම පටන් ගන්න ඉස්සෙල්ලා තමන් ප්‍රවේශපත්‍රයක් ලබා ගන්න ඕනේ. ඒ වගේම එම ප්‍රවේශපත්‍රය ගමනාන්තය දක්වා තමන්ගේ ළඟ තියාගන්න ඕනේ.. අපි අධිකාරියක් විදිහට තීරණය කරලා තියෙනවා ඔක්තෝම්බර් 01 වැනිදා සිට ටිකට් පත් ලබාදීම සහ මගියා විසින් ටිකට්පත් ලබා ගැනීම කියන දෙකම අනිවාර්ය කරලා තියෙනවා.
මේකෙදි යම් කිසි අවස්ථාවක කොන්දොස්තරවරයා ටිකට් පතක් ලබා නොදී ඉන්නේ නම් ඔහුට එරෙහිව නීතිමය කටයුතු කරන්නත් අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම මගියා විසින් ටිකට් පතක් ලබා නොගන්නේ නම් ඔහුට නීත්‍යානුකූලව කටයුතු කරන්නත් අපි කටයුතු කරනවා. ඒකෙදි මගියා ටිකට්පතක් ලබා නොගන්නේ නම් ඔහුට රුපියල් 100ක දඩයක් සහ ගමන්වාරය වගේ දෙගුණයක ගමන් ගාස්තුවක් අය කරන්න අපි තීරණය කරලා තියෙනවා.”
යනුවෙනුයි.










