සුනාමි ව්‍යසනය සිදුවී අදට (26) වසර 21ක් සැපිරෙනවා.
2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දරුණු සුනාමි තත්ත්වයක් ඇති වුණේ ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව සිදුවූ ප්‍රබල භූ කම්පනයත් සමගයි.
ඉන් මෙරට පුද්ගලයින් 35,000කට අධික පිරිසක් මියගොස් තවත් 5,000ක පමණ පිරිසක් අතුරුදන්වූ අතර දේපොළ රැසක් ද විනාශයට පත් වූවා.
ඒ අනුවයි සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම සඳහා 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වනදා ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කෙරුණේ.
සුනාමි ව්‍යසනයෙන් මෙන්ම මේ දක්වා රටේ සිදුවූ විවිධ ව්‍යසනයන් හේතුවෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් මෙවරද “ජාතික සුරක්ෂිත දින” සැමරුම් උත්සවය අද පෙරවරු 8:30 සිට පෙරවරු 11:00 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත්තේ ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදීයි.
එසේම දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
එමෙන්ම මෙම ආපදාවෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් අද පෙරවරු 9:25 සිට පෙරවරු 9:27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ද එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර මරදාන දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 6:30ට මාතර බලා දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ පැරෑලිය ප්‍රදේශයේදී සුනාමි ජල කඳට හසුවී විනාශයට පත්වූ දුම්රිය අනතුර සිහිපත් කිරීම සඳහායි.










