බේරේ වැව ජලතර ගුවන් තොටුපලක් (Water Aerodrome ) ලෙස භාවිත කරමින් කටුනායක සහ කොළඹ අතර නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමේ අවස්ථාව අද ( 03) දින ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මෙම කොළඹ – කටුනායක ගුවන් ගමන් ආරම්භ කර තිබෙන්නේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ සැලසුමේ එක් පියවරක් වූ දේශීය ගුවන් ගමන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙසයි.
වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ ජලතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබන සිනමන් ගුවන් සමාගම මෙම කොළඹ- කටුනායක ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබනවා.
කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිණෙන සංචාරකයින් සහ ව්‍යාපාරික ප්‍රජාවට කෙටි වේලාවකින් සුව පහසුව කොළඹ නගරය වෙත කාර්යක්ෂමව ගමන් කිරීමේ අවස්ථාව මෙම නව ගුවන් ගමන් ආරම්භයත් සමඟ උදාවනු ඇති.
වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න ඇතුළු මහත්වරුන් පිරිසක් රැගත් සිනමන් ගුවන් සමාගමට අයත් Cessna 208 මාදිලියේ ගුවන් යානාවකුයි කටුනායක ගුවන් තොටුපලේ සිට Cinnamon Lake side Pire දක්වා මෙම සමාරම්භක ගුවන් ගමනේ පියාසර කෙරුණේ.
“අපි ආණ්ඩුවක් විදියට දේශීය ගුවන් සේවාවන් දියුණු කරන්න බලාපොරොත්තු වනවා. Cinnamon Air වගේ සමාගම් සියල්ලටම අපි ආරාධනා කරනවා පලාලි වගේ ගුවන් තොටුපොලවලටත් දේශීය ගුවන් වාර ආරම්භ කරන්න එන්න කියලා.
අපි ආණ්ඩුවක් වශයෙන් ඔබට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට බැදී සිටිනවා” යනුවෙන් මෙහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා.
2011/2012 වර්ෂවල ශ්‍රි ලංකන් ගුවන් සමාගම ද ජලතර ගුවන් ආරම්භ කරනු ලැබු අතර එම සේවාව අත්හිටවනු ලැබුවේ එවකට පැවති දැඩි ආරක්ෂක නියාමනයන් සහ දුෂ්කරතා හේතුවෙන්.
නව රජය පත් වීමත් සමඟම දේශීය ගුවන් ගමන් ප්‍රවර්ධනය කිරීම සහ නීතී රීතී ලිහිල් කිරීම මත එම සේවාව සැපයීමට සුදුසු පරිසරයක් නිරිමාණය වී ඇති බැවින් සිනමන් ගුවන් සේවය මෙම සේවාවන් නැවත ආරම්භ කිරීම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනයට මහත් රුකුලක් වනවා.
සිනමන් ගුවන් සමාගම මේ වන විට නුවර, මඩකලපුව, සීගිරිය, කොග්ගල, වීරවිල, හැටන්, ත්‍රිකුණාමලය ආදී දේශීය සංචාරක ගමනාන්ත 10 ක් වෙත ගුවන් ගමන් සිදු කරනු ලබයි.
මෙම බේරේ වැව ආශ්‍රීත ජලතර ගුවන් තොටුපලට අමතරව නුදුරේදීම කොළඹ වරාය නගරය සඳහා ද මෙවැනි ජලතර ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා පරීක්ෂා කිරීම් සිදු කරමින් පසුවන අතර කොළඹ නගරය සඳහා නව හෙලිකොප්ටර් නැවතුම් අංගන දෙකක් හදුන්වා දීම සඳහාද කටයුතු කරමින් පවතිනවා.
එමෙන්ම මේ වන විට ජලතර ගුවන් තොටුපල 22 ක් නිසි පරීක්ෂා කිරීම්වලින් පසුව මෙහෙයුම් සඳහා අනුමත කර ඇති බවයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ.










