වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
ඒ අනුව පසුගිය මාසයක පමණ කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී වෙළෙඳසැල් 135ක වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීම් සිදුකරමින් පවතින බවයි එම අධිකාරිය පැවසුවේ.
එමෙන්ම සහල් වැඩි මිලට අලෙවි කරන සහ සඟවා තබා වෙළෙදුන්ට එරෙහි වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
ඔවුන් කළේ වැඩි මිලට සහල් අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරිකයෙකු වේ නම් ඔහුට එරෙව නඩු පැවරීමේ දී ඔහු වැරදිකරු වුවහොත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 05 දක්වා දඩ මුදලක් හෝ මාස 05ක සිර දඬුවමක්ද නියම කළ හැකි බවත්, නැතහොත් එම දඩ මුදල හෝ සිර දඬුවම යන දෙකම නියම කිරීමටද හැකියාවක් ඇති බවයි.
එමෙන්ම පෞද්ගලික සමාගමක් වරදකරු වන්නේ නම් රුපියල් ලක්ෂ 05 සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩ මුදලක් නියම කිරීමටත්, සහල් සඟවා තැබීම සම්බන්ධව වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිර දඬුවම හෝ ඉහත දෙකම මෙන්ම අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමටද අධිකාරි පනත යටතේ හැකියාවක් ඇති බවයි එම අධිකාරිය කියා සිටියේ.
තවද දෙවන වර සිදුකරන වරදකදී එම දඩ මුදල මෙන් දෙගුණයක් දඩ නියම කිරීමටත්, වසරක් දක්වා සිර දඬුවමක් ලබා දීමටත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකියාවක් පවතිනවා.
මේ අතර වර්තමානය වන විට වෙළෙඳපොළ තුළ කීරි සම්බා හිඟය තවදුරටත් පවතින බවයි වෙළෙඳුන් පැවසුවේ.
ඔවුන් පෙන්වා දෙන්නේ එම ගැටලුව සම්බන්ධව අවධානය යොමු කරමින් බලධාරීන් විසින් මේ සඳහා කඩිනම් පියවර ගත යුතු බවයි.











