දේශීය

අල්ලස් කොමිසමට තාවකාලිකව නිලධාරීන් බඳවා ගැනීමට අනුමැතිය හිමි වෙයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා වන නිත්‍ය කාර්ය මණ්ඩලය පත් කරනු ලබන තෙක්, එම කොමිෂන් සභාවේ කටයුතු කාර්යක්ෂමව පවත්වා ගෙන යාම සඳහා තාවකාලික පදනමින් සුදුසු නිලධාරින් පත් කිරීමට අනුමැතිය හිමිවූවා.

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉහළ ස්වාධීනත්වයක් ලබා දී ඇති අතර, එකී කොමිෂන් සභාවට අනන්‍ය වූ කාර්ය මණ්ඩලයක් කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීම පිණිස වන විධිවිධානයි එම පනතේ අන්තර්ගතව ඇත්තේ.

එසේම, රාජ්‍ය සේවයේ, පළාත් රාජ්‍ය සේවයේ, විගණන සේවයේ හා රාජ්‍ය සංස්ථාවක යම් නිලධරයෙකු හෝ සේවා නියුක්තයෙකු තාවකාලික පදනම මත එම කොමිෂන් සභාවට බඳවා ගැනීම සඳහා වන විධිවිධාන ද දූෂණ විරෝධී පනතේ ඇතුළත්ව තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා වන නිත්‍ය කාර්ය මණ්ඩලය පත් කරනු ලබන තෙක්, එම කොමිෂන් සභාවේ කටයුතු කාර්යක්ෂමව පවත්වා ගෙන යාම සඳහා දූෂණ විරෝධී පනතේ 26(4), 26(5), 26(6), 26(8) හා 26 (9) වගන්තිවල සඳහන් විධි විධාන පරිදි තාවකාලික පදනමින් රාජ්‍ය සේවයේ, පොලිස් සේවයේ, විගණන සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ මෙන්ම රාජ්‍ය සංස්ථාවල සේවයේ නියුතු නිලධාරින් අතරින් සුදුසු නිලධාරින් පත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත්තේ ඒ අනුවයි.

Shares: