උණුසුම් පුවත්

පාස්කු දින ප්‍රහාරයේ මහ මොළකරු ගැන සංසරණය වන පුවත බොරුවක් – පොලිසිය

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බවට සාවද්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව පොලීසිය පවසනවා.

අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එය සත්‍යයෙන් තොර පුවතක් බවට අවධාරණය කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

එම පුවත සම්බන්ධව කරුණු දක්වමින් විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා ප්‍රකාශ කරන්නේ 2025.10.08 වන දින පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව විසින් කරන ලද කැඳවීමකට අනුව එම කාරක සභාව හමුවේ පෙනී සිට මතු වූ කාරණා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන් බවත්, එම අවස්ථාවේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවට අවධාරණය කර සිටින බවයි.

මේ හේතුවෙන් අදාළ අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බවත්, මීට අදාළ නෛතික ක්‍රියා මාර්ග ගැනීමට රවි සෙනවිරත්න මහතාගේ නීතිඥවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Shares: