2025 අයවැය මඟින් වැටුප් වැඩි නොවුණු විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් සිටින බවත්, 2026 අයවැය මඟින් ඔවුන් වෙත ප‍්‍රතිලාභ සලසන්න කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසූයේ ‘සවිමත් සුවපත් දිරිමත් දිවියක්’ යන තේමාව යටතේ විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ ‘ජාතික විශ‍්‍රාමික දිනය 2025’ සැමරුම් වැඩසටහනට එක්වෙමින්.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා,
”ලක්ෂ 07කට අධික විශ‍්‍රාමික ප‍්‍රජාවට බලපාන ගැටලු රාශියක් පවතින බව අපි දන්නවා. අපි විශ‍්‍රාමික සංවිධාන මුණගැහෙනවා. නියෝජ්‍ය ඇමතිතුමා, ලේකම්තුමා, අධ්‍යක්ෂ ජනරාල්තුමා මුණගැසී ඔවුන් සාකච්ඡා කරනවා. තාමත් අපට හඳුනාගත නොහැකි ගැටලුත් තිබෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබට තිබෙන ගැටලු නිරාකරණය කිරීමේ වගකීම ඉටු කිරීමට රජය අපේක්ෂා කරනවා.”
යනුවෙනුයි ප්‍රකාශ කළේ.
එම සැමරුම් උත්සවයට දේශීය හා බටහිර වෛද්‍ය කඳවුරු, සෞඛ්‍ය දේශන, ප්‍රවීණ කලාකරුවන්ගේ සෞන්දර්යාත්මක ඉදිරිපත් කිරීම් සහිත රසවින්දන වැඩසටහන්, විශේෂිත තිළිණ ප්‍රදානයන් ඇතුළු අංග රැසක් ඇතුළත් වුණා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි යන මහත්වරුන් මෙන්ම ප්‍රවීණ කලාකරුවන්, දේශීය හා බටහිර විශේෂඥ වෛදවරුන් ඇතුළු විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් පිරිසකුයි ඊට එක්වූයේ.











