දේශීය

‘පුවක්දණ්ඩාවේ සනා’ ගැන වීරවංශ කළ ප්‍රකාශ ගැන පොලිසියෙන් නිවේදනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටීම සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ එම කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය සම්බන්ධව වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ආරම්භ කර ඇති විමර්ශනය හේතුවෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

ඒ අනුව ඔහුගෙන් එම කොට්ඨාසය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පහත සඳහන් ආකාරයට පිළිතුරු ලබා දුන් බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

  1. වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය තමා විසින් කිසි දිනක දැක නොමැති බවත් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙස කිසිදු අවස්ථාවක හඳුනා ගෙන නොමැති බවය.
  2. මත්ද්‍රව්‍ය ගෙන එන්නේ රාජ්‍ය අනුග්‍රහය මත හා මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන්නේ රාජ්‍ය අනුග්‍රහය මත බව තමා පැවසුවේ පවතින පොදු තත්වය මත මිස මෙම සිදුවීම සම්බන්ධව නොවන බවත්ය.
  3. වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු බව පැවසුවේ එම දිනවල මාධ්‍ය මගින් අනාවරණය කල තොරතුරු මත බවය.
  4. පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ ගරු ජනාධිපති තුමා එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවකදී වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා පුවක්දණ්ඩාවේ සනා යන අයගේ නිවසට පැමිණ ආහාර ගත් බව නොව එම ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ආහාර ගත් බව තමා විසින් දැන ගත් බවය.
  5. වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වූයේ රාජ්‍ය අනුග්‍රහයෙන් එවැනි ප්‍රමාද කිරීමක් සිදු කල හැකි බවට තමා තුළ පැවති විශ්වාසය හේතුවෙන් බවත්ය.

ඒ අනුව 2025.10.02 වන දින මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදු කරන ලද ප්‍රකාශවලට අදාළව කරුණු තහවුරු කිරීමේ කිසිදු සාක්ෂියක් ඔහු විසින් ඊයේ (09) දින ප්‍රකාශ ලබා දෙන අවස්ථාවේදී ඉදිරිපත් කර නැහැ.

එබැවින් දැන දැනම අසත්‍ය බව දන්නා වූ හෝ අසත්‍ය බව විශ්වාස කරන්නාවූ යම් තොරතුරක් හෝ යම් කරුණක් ප්‍රකාශ කිරීම සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බවයි පොලීසිය සිය නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

එමෙන්ම තවදුරටත් මේ සම්බන්ධව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Shares: