දකුණ පළාත තුළ අද (20) සිට Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.
මේ අනුව රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම මේ වන විට බස්නාහිර පළාත සහ දකුණ පළාත ආවරණය කර ඇති බවයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පැවසුවේ.
ඒ අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.
පුරසිංහ මහතා කියා සිටියේ දකුණ පළාත ආවරණය කිරීමේදී එම පළාත තුළ පිහිටි පොලිස් ස්ථාන වෙත ජංගම දුරකථන 400කට අධික ප්‍රමාණයක් ලබා දී ඇති බවයි.
එමෙන්ම ඉදිරියේදී මෙම ක්‍රමය උතුර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවත්, මේ වසර අවසානයට පෙර ලංකාව පුරා පිහිටි සියලුම පළාත් තුළ අන්තර්ජාලය හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම ආවරණය කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළා.
ඉන් අනතුරුව මෙහි දෙවැනි අදියර ක්‍රියාත්මක කරන බවත්, ඒ අනුව අකුසලතා ක්‍රමවේද හඳුන්වාදීමට පියවර ගන්නා බවත් පැවසූ ඒ මහතා මෙම ක්‍රියාවලිය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සහ රථවාහන දෙපාර්තමේන්තුවද මෙම ක්‍රමවේදය හරහා සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බවයි ප්‍රකාශ කළේ.
එසේම පුරසිංහ මහතා කියා සිටියේ මෙම රථවාහන දඩමුදල් Gov Pay හරහා ගෙවීමේ ක්‍රියාවලියේදී වැඩිම දඩ මුදල් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් අය වී ඇති බවත්,මේ වන විට රථවාහන වැරදි 20,000කට ආසන්න ප්‍රමාණයකින් රථවාහන දඩ මුදල් ලෙස රුපියල් මිලියන 30කට ආසන්න ප්‍රමාණයක් එකතු වී ඇති බවයි.
තවද මෙම ක්‍රියාවලිය ආරම්භ වූ පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ආයතන 170ක් සම්බන්ධ වී ඇති බවත් රුපියල් මිලියන 400කට අධික ගෙවීම් මෙම Gov Pay පද්ධතිය හරහා නොයෙකුත් රාජ්‍ය ආයතනයන් වෙත ගෙවීම් සිදුකර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.











