උණුසුම් පුවත්

හිටපු මහ බැංකු අධිපතිට එරෙහිව පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසකට චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කර තිබෙනවා.

පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව සඳහන් කරමින් ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් මිලියන 6.5ක මුදලක් ඉමාඩ් සුබේරි නැමති අමෙරිකානු ජාතිකයෙකුට ගෙවීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පිරිසකට චෝදනා කරමිනුයි පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණේ.

මූලික කරුණු සලකා බැලීමකින් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ,මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුරේන් ඥානරාජ් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම කරුණට අදාළව පෙත්සම්කර හිමියන් විසින් මීට පෙර කොළඹ සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණවලට පුද්ගලික පැමිණිලි ඉදිරිපත් කළත් ඒවා එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවයි.

ඊට එරෙහිව ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවත් නීතිඥ ඥානරාජ් මහතා අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

වගඋත්තරකාර හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියාව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි පෙත්සම්කාර තීනියාවල පාලිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසීම් මහතා අධිකරණයට පෙන්වා දී ඇත්තේ.

එහිදී සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩුකරය හරහා නඩු නිමිත්තක් අනාවරණය නොවන හෙයින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කර තිබෙන බව වැඩිදුරටත් සඳහන් වනවා.

Shares: