මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළ වන රීතී සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදියි මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
සෑම බලපත්‍රලාභියෙකුම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත්කරමින් මෙම ගැසට්ටුව නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපහොසත් වන බලපත්‍රලාභීයෙකුගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව නව ගැසට් නිවේදනයේ සඳහන්.
මීට පෙර මෙම නීතිය ක්‍රියාත්මක නොවු අතර එය නව නීතියක් ලෙස හඳුන්වා දී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඊට අමතරව නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර ඇත්තේ නියමිත දින සිට දින 90ක් ඉක්මවන කාලයක් සඳහා ගෙවිය යුතු බද්ද හා ගාස්තුව සම්පූර්ණයෙන් නොගෙවා ඇතිවිට එම බලපත්‍රලාභියාගේ සියලු බලපත්‍ර අත්හිටුවීමටයි.
පෙර පැවති මස 06ක් දක්වා බලපත්‍ර අත්හිටුවීමේ කාලය මාස 3 දක්වා කෙටි කිරීමට නව ගැසට් පත්‍රය මඟින් පියවර ගෙන ඇති බවත් එම දෙපර්තමේන්තුව ප්‍රකාශ කළා.
එමෙන්ම සුරාබදු ගෙවීම් පැහැර හැරීම අවම කිරීමේ අරමුණින් මෙම නව බදු ගෙවීමේ කාලසීමාව සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ද එහි සඳහන්.











