කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් පාසල් ළමුන් 230,000කට අධික පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) අකුරැස්ස ගොඩපිටිය ජාතික පාසලේදී පැවැත් වූ මත් උවදුර වැළැක්වීම සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.
“බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පාසල් ළමුන් 230,982ක් මත්ලෝලීන්. දකුණ පළාත ගැන කිව්වොත් මීට වඩා දැවැන්ත තැනකට තල්ලු කරනවා කියලා මට විශ්වාසයි. දකුණ තමයි පාතාල ක්‍රියාකාරකම්වලින් අංක 1ට යන්නේ. ලංකාවේ බන්ධනාගාරගතව වැඩි හරියක් ඉන්නේ තාරුණ්‍යය. ඒ වගේම වැඩියෙන්ම ඉන්නේ සාක්ෂරතාව අඩු මට්ටමක ඉන්න අය. “
“අවුරුදු 5ට අඩු ළමුන් 42ක් ඉන්වා ඔවුන්ගේ අම්මා කළ වැරදි නිසා. අපි හිතමු නඩු අහලා අවුරුදු 10ක් අච්චු කළා කියලා. අවුරුදු 5ක් එයාටයි ළමයටයි අපි එකට ඉන්න දෙනවා. අවුරුදු 05ක් පිරෙන දවසට ළමයයි අම්මයි අපි වෙන්කරනවා. ඒක තමයි මගේ ජීවිතේ දැක්ක ඛේදනීයම අවස්ථාවල්. ළමයා අම්මා ඉල්ලලා කෑ ගහනවා. අම්මා ළමයා ඉල්ලලා කෑ ගහනවා. ඒ දෙන්නට ඒ දෙන්නා විතරයි අවුරුදු 5ක් පුරා හිටියේ. නීතිය හරස් වෙනවා. ඒ නිසා කවදාවත් කාන්තාවක් විදියට වැරදි කරන්න එපා. මේ රජයට මහ දැවැන්ත විදියට උවමනාවක් තියෙවා මත්ද්‍රව්‍යවලින් තොර රටක් නිර්මාණය කරන්න.”
යනුවෙනුයි එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර, ඊයේ කළුතර පැවති උත්සවයකට එක්වෙමින් කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිනී වීරසූරිය මහත්මිය පෙන්වා දුන්නේ, පාසල් ආශ්‍රිතව සිදුවන මත් ජාවාරම් මැඩලීමට පියවර ගෙන ඇති බවයි.
ඒ පිළිබඳව අදහස් දැක්වූ වීරසූරිය මහත්මිය,
“අපි මේ වනවිට සිවිල් ඇඳුමින් නිලධාරීන් බොහෝමයක් පිරිස යොදවලා තියෙනවා. ඔයාලා ඉස්කෝලේ ඇරිලා එනකොට කොහොමද යන්නේ ඔබ ඇසුරු කරන්නේ කවුද ඔබ රංචු ගැහිලා ඉන්නේ කොහෙද කියන එක බලන්න. ඔබට කිසියම් තොරතුරක් තියෙනවා නම් ඉස්කෝලේ ඇරිලා යනකොට බස් ස්ටෑන්ඩවල, කඩවල්වල එහෙම දේවල් තියෙනවා නම් ඔබ අපට කියන්න. මගේ ටෙලිෆෝන් නම්බර් ඒක 071 859 2683.”
යනුවෙන්ද පැවසුවා.










