දේශීය

හෙරොයින් එක්ක ඇල්ලූ මන්ත්‍රිනියගේ සැමියා සහ පුත්‍රයා අද අධිකරණයට..

 

හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේග නාගරික මන්ත්‍රීවරියගේ ස්වාමිපුරුෂයා අද (06) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එප්පාවල කටියාව යාය 10 ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට තොරතුරක් ලැබි තිබුණා.

ඒ හෙරොයින් ග්‍රෑම් 50ක් සමග අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවෙකුගෙන් අනාවරණ කරගත් තොරතුරුවලට අනුවයි.

ඒ අනුව, අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් එම විදුහල්පතිවරයාට අයත් එප්පාවල ප්‍රදේශයේ පිහිටි එම හෝටලය වටලා තිබුණා.

එහිදී අදාළ හෝටලයේ තිබී හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 20ක් සොයා ගැනීමට එම නිලධාරීන් සමත් වුණා.

ඒවායෙහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුවයි අදාළ විදුහල්පතිවරයා පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඔහු කලක සිට මෙම ජාවාරමේ නිරතව ඇති බවට තොරතුරු වාර්තා වන බවත් පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන දිස්නා නිරංජලා කුමාරි නමැති මන්ත්‍රීවරිය බවට පසුව අනාවරණය වුණා.

ඒ අනුවයි ඇගේ පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසද ඊයේ පොලිසිය විසින් පරීක්ෂාවට ලක්කළේ.

එමෙන්ම, මෙම විදුහල්පතිවරයාගේ පුත්‍රයෙක් ද පසුගියදා හෙරොයින් ග්‍රෑම් 20ක් සමග අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි පියවර ගත්තේ.

Shares: