සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ‘ලොකු පැටීගේ’ ගෝලයන් දෙදෙනෙකු ජාවාරම් මුදල් ලක්ෂ 26ක්, හෙරොයින් මත්කුඩු තොගයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන 2ක් සමඟ අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරගස්මන්හන්දිය සහ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 24 සහ 27 හැවිරිදි තරුණයින් දෙදෙනක්.
“ඉවත්වනු” මෙහෙයුම යටතේ ජංගම සංචාරයේ නියැලී පොලිස් කණ්ඩායම අලුත්ගම ප්‍රදේශයේ දීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පොලිසිය ප්‍රකාශ කළේ සැකකරුවන් ඊසිකෑෂ් ක්‍රමයට මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි.
එහිදී බැංකු වාර්තා, දුරකථන වාර්තා ලබාගෙන වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.
අලුත්ගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.











