අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා එක්සත් ජාතික පක්ෂයේ ජීවන් තොණ්ඩමන් යන මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (14) දින පැවැත්වූ අතර එය වැඩි ඡන්දයෙනුයි සම්මත වූයේ.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවූ අතර ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි ගණන 8ක්.
ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත වූවා.
අද (14) උදෑසන 9.30ට විවාදය ආරම්භ වූ අතර පස්වරු 6.00ට විවාදය අවසන් වීමෙන් පසු අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරුණා.
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනුයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.
ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය දෙසැම්බර් මස 5 දක්වා පැවැත්වෙනු ඇති.
එමෙන්ම අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමට නියමිත වනවා.










